Wednesday, April 1, 2009

බ්ලොගී මොඩිෆයි වෙලා(ද?)

බ්ලොගීට කාලෙක ඉඳන් ආසවක් තිබුනා අර ටෙලිවිෂන් එකේ පෙන්නන නිළි ඇන්ටිලා වගේ කොණ්ඩෙ දඟර කරගන්න. ඔය ආසාව ගැන බියුටි කචල් කරන නංගිට කිච්චම නංගි කිව්වා ඒකට කියන්නේ "ස්පා" කිරීමයි කියලා. ඉතිං එදා ඉඳලා මට තිබුනේ ඔය කියපු ඉස්පා පිස්සුව. රෑට හීනෙන් පෙනුනෙත් මං සැලුන් කඩෙ ගිහින් කොණ්ඩෙ දඟර කරගන්න හැටි. උදේට නැඟිටලා බ්ලොගී දුවන්නේ කණ්නාඩිය ගාවට වැරදිලා වත් හීනෙ ඇත්ත වෙලාද බලන්න. හැමදාම එකම විදිහට අස්ප වලිගේ වගේ කොණ්ඩෙ බැඳලා මට එපා වෙලයි හිටියේ.වෙන කිසිම විලාසිතාවක් දාන්න බැරි විදියේ අමුතු කොණ්ඩ පොඩ්ඩක් තමා මට තිබුනේ. ඉතිං මම බොහොම විපරමෙන් හිටියේ ඔය ඉස්පාව කරගන්නේ කොහොමද කියලා. අපේ පැංචි ඔය වැඩ වලට දස්සි. මම පැංචිගෙනුත් විපරම් කරලා බැලුවම ඔන්න මට හොඳ හෝඩුවාවක් ලැබුනා. ඉතිං මම ඉරිදා මගේ නිවාඩු දවසෙත් ලහි ලහියේ ඇඳ පැළඳ ගෙන තකහනියේ පැංචි හොයන් ගියේ ඔය වැඩේට තමා.
පැංචිගේ කඩු හරඹ පන්තිය ඉවර වෙච්චි ගමන් පැංචි මාවත් ඇදන් සැලුන් කඩ හොය හොයා පිටත් උනා. ඔහොම හොය හොයා ගිහින් අපි දෙන්නා ආවා එක තැනකට. හම්! පෙනුම නම් හොදයි. කොණ්ඩෙට කරන හැම දස වදයක්ම සැලුන් දොරේ ස්ටිකර් කොළ වලින් අලවලා තිබුනා. මාත් ඉතිං දොර ඇරගෙන ගියා. ඒක ඇතුලේ හිටියා ඇස් බැමි ගලෝපු බෙල්ලට වඩා මූණ සුදුම සුදු ලස්සන නාඹර ගැටිස්සියෝ දෙන්නෙක්ම. එක්කෙනෙක් දුවන් ආවා අපි ගාවට "ඇයි මිස්? එන්න මිස්. මොකද්ද මිස් කෙරෙන්න ඕන?. ෆා...හ්!. මාර සුහද පිළිගැනීමක්. ඊට පස්සේ අපි දන්න කියන වචන ඔක්කොම පාවිච්චි කරලා මට ඕන විලාසිතාව ගැන කිව්වා.දැන් අර ගැටිස්සි තොල හපාගෙන ඇස් උඩදාගෙන කල්පනා කරනවා. "මේ අපි කියපුවා හරි නේද?" . මම පැංචිට ලං වෙලා ඇහුනා. "හරි හරි ඉන්නකෝ මොනාද කියන්නේ බලමු" පැංචි කිව්වා. ඊට පස්සේ අර ගැටිස්සි ඇදලා පැදලා මෙහෙම කිව්වා. "ඒක නම් අපි කරන්නේ බඩු ඔක්කොම ගෙන්නලා තමයි. ඔයාලට පුළුවන් දවසක් කියන්න අපි බඩු ටික ගෙන්නලා තියන්නම්, එදාට ඔයාලා එන්න ". මගේ ඉහේ මල් පිපුනා. එතකොට ගාන කොහොමද මම ඇහුවා. ගැටිස්සි ආයෙත් ඇස් උඩ දාගෙන කල්පනා කරන්න ගත්තා. හම්! තුන්දාහක් විතර, අහලා තමයි කියන්න ඕන. කොණ්ඩේ බලලා තමයි ඉතිං ඒක තීරණය කරන්න ඕන.එයා කිව්වා. හා එහෙනම් ඔයා අහලා තියන්නකෝ අපි ආයෙත් එන්නම්. මායි පැංචියි එළියට බැස්සා.
ඒ වෙනකොට මට ගාන අහලා හීන් දාඩියකුත් දාලා තිබුනා. ස්පා කිරීමේ ආසාවත් නැති වෙලයි තිබුනේ. ඒ නිසා මම තීරණය කලා නිකම්ම කොණ්ඩෙ කපා ගන්න. අපි ගියා තවත් තැනතට. එතනට ගිහින් අපි විපරම් කලේ අළුත්ම කොණ්ඩා විලාසිතා ගැන. එතකොට කියපු එක විලාසිතාවකට මට හිතගියා. ඒ තමා කොණ්ඩෙ එකම ලෙවල් එකට නොතියා තට්ටු තට්ටු වෙන්න කපන එක. කියපු විදියට නම් ඒ විලාසිතාව මට ගැළපෙයි කියලා මට හිතුනා. ඉතිං මම ගිහින් අර දත් ගලවන පුටුවෙන් වාඩි උනා. බෙල්ල වටේට තුවායක් එතුනා. ඊට උඩින් තව ඉටි රෙද්දකුත් එතුනා. වයස අවුරුදු දහයෙදි සැලුන් එකකින් කොණ්ඩෙ කැපුවට පස්සේ අදමයි මේ කොණ්ඩෙ කපන්නේ සැලුන් එකකින්. හදුන් පොත කී ගාන සද්දෙත් ලාවට නිකං ඇහෙනවා ඇහෙනවා වගේ. ඔන්න දැන් බාබර් අයියා චුයින්ගම් එකක් හප හපා මගේ ඔළුවට වතුර විද්දා. තිබ්බ කතුරු ගොඩෙන් ලොකුම කතුර අරගෙන මගේ කොණ්ඩෙට අත තිබ්බ ගමන් මම වෙන දෙයක් වෙද්දෙන් කියලා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් සිහි කරගෙන ඇස් දෙක තද කරලා වහ ගත්තා. "තට්ටු කියක් ඕනද මිස්?" අයියා අහනවා. "කපන එකේ තට්ටු විසිපහක් වත් කපන්න" ඒ කිව්වේ මම. "හිකිස්" බාබර් අයියයි, එයාගේ සහායකට හිටපු ගෑණු දැරිවියි, පැත්තක වාඩි වෙලා හිටපු පැංවියි මං දිහා බලලා කිණ්ඩියට වගේ හිනා වෙනවා මම කණ්නාඩියෙන් දැක්කා. "එච්චර නම් බැරිවෙයි මිස්, ඔයාගේ කොණ්ඩෙ තරමට නම් තට්ටු හතරක් විතර තමා පුළුවන්" බාබර් අයියා කියපි. තේරෙනවනේ එහෙනම් මොන මඟුළකටද අහන්නේ මට කියන්න හිතුනට මම කිව්වේ නැහැ.
දැන් ඔන්න බරටම වැඩේ කෙරෙනවා. කපනවා පීරනවා වතුර ඉහිනවා ආයෙත් කපනවා වැඩ කෝටියයි. අන්තිමේදි හෙයා ඩ්‍රයර් එකක් අල්ලලා කොණ්ඩෙත් වේලලාම දුන්නා. තුවායත් අයින් කරනකල්ම ඉදලා මම හිමිට ඇස් දෙක ඇරියා. අප්පට සිරි. මට ගිය කලක්. එක පාරම මට මතක් උනේ හතර වසරෙද කොහෙද ඉංග්‍රීසි පාඩමකදි හදපු පුවක් මල් බොනික්කව. යස අගේට අස්ප වලිගෙ වගේ තිබ්බ මගේ අගේ ඇති කෙස් කළඹ මම වාඩි වෙලා හිටපු පුටුව ගාව පණ අදිනවා දැකලා ම‍ගේ පපුව හෝස් ගාලා ගියා. දැන් ඉතින් ගිය නුවණ ආයෙ මැමත් අලි දාහක් දාලාවත් අද්දව ගන්න බෑනෙ. ඒත් ඉතින් පොඩ්ඩක් කණ්නාඩිය ඉස්සරහ හැරි හැරි බලද්දි අවුලකුත් නැහැ වගේ. හැමදාම එකම පෙනුමෙන් ඉන්නවාට වඩා ටිකක් වෙනස් වෙන එකත් හොඳයි නොවැ. බාබර් අයියාගේ ගාන බැලන්ස් කරාට පස්සේ තට්ටු ගහපු කේස කලාපේ රැක බලාගන්න නොමිලේ උපදෙසුත් ලැබුනා. ඉතිං මම පැංචිත් ඉස්සර කරන් පාරට බැස්සා. පැංචිගෙත් ගෙදර යන වෙලාව හන්දා එයාටත් සමු දිලා මම මගේ අළුත් විලාසිතාව හැමෝටම පේන විදිහට ඔළුව ගස්සා ගස්සා බස් ස්ටෑන්ඩ් එකට ගෑටුවා.

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails