Sunday, December 27, 2009

දුකට බොන්නේ පිරිමි විතරද?? 3

ඉතිං ඔහොම කියව කියව ගිය බ්ලොගීට කිසි දෙයක සිහියක් තිබුනේ නැත. පසු දින අයියා සහ අනිත් අය විස්තර කල ආකරයටයි මේ කතාව මම ලියන්නේ.

අයියා - “ඒයි ඔන්න ගෙදර ආවා, දැන් අපි බහින්න ඕන, ඒයි ඒයි ඇහෙනවද? බහින්න පුළුවන්ද?”

බ්ලොගී - “ආ.....! හා... හා!”

අයියා බ්ලොගී වත්තම් කරගෙන වෑන් එකෙන් බහි. බැස්ස පසුත් බ්ලොගීව අල්ලාගෙන සිටින්නේ අයියා විසිනි.

අයියා - “ඔයාට ඇවිදින්න පුළුවන්ද?”

බ්ලොගී - “පුළුවන් පුළුවන්” “ඇයි මට බැරි?”

අයියා හෙමින් බ්ලොගීව අල්ලාගෙන සිටි අත බුරුලු කරේ වෑන් එකේ තිබුන බ්ලොගිගේ සපත්තු දෙක ගන්නටලු.

දඩාං..! බිඩිං...! ඩෝ...ං! බ්ලොගීලගේ ගෙදර වතුර යන කානුවෙ, පෙරදා වැස්සට මඩවී නාරා වලක් වී තිබුන වතුර වලට බ්ලොගී වැටී ඇත්තේ එහි සිටි ඉස්ගෙඩියන් ගෙම්බන් පනුවන් සියල්ල වලෙන් ගොඩ කරවමිනි.

දැන් ඉතිං මොනා කරන්නද? අයියා නංගීවත් උදව් කරගෙන පිටි මූට්ටයක් සේ බ්ලොගීවත් කර ගහගෙන ගෙදරට ගාටා ඇත. (බ්ලොගීගේ මහගෙයත් බ්ලොගීගේ ලොකු අම්මාගේ ගෙයත් ඇත්තේ එක ලඟය. සාමාන්‍යයෙන් නෑදෑ පිරිවර යන්නේ මහගෙදරටයි. අයියා බ්ලොගිවත් උස්සගෙන ලොකු අම්මාගේ ගෙදරට ගිහින් ඇත්තේ නෑදැයෝ ටික වැඩිය ඒ පැත්තට නොඑන බැවිනි.) බ්ලොගී අයියාගේ කර උඩින් එන හැටි දුටු ලොකු අම්මා ඇස් උඩදාගෙන බලා සිට ඇත්තේ වෙනදට යස අගේට ලොකු අම්මව හොයාගෙන දුවගෙන එන බ්ලොගියට මක් උනාද කියලයි. මඩ නාගෙන සිටි බ්ලොගීව ගෙදර කාමරයක බිමින් තියන ලදි. මේ සියල්ල වෙද්දිත් බ්ලොගීගේ කට වැහුනේ නැතිලු. මෙච්චර කල් කාටවත්ම නොකියා හිතේ තියාගෙන දුක් විඳපු සියලු දෑ හෙලි කරමින් බ්ලොගී අඬා ඇත. විදෙස් ගතව සිටින අම්මාවත් අයියාවත් මේ දැන් මෙතනට ගෙනත් දෙන්න කියමින් බ්ලොගී හඬා ඇත. පුංචි කාලයේ පටන්ම අම්මාගේ උණුසුම නැතුව හැදුන ඒ අඩුව ගොඩක් දැනිලා තිබුනත් ඒ බව කාටත් නොපෙන්වා හැම වෙලේම සිනා මුහුණෙන් සිටි බ්ලොගිට හිතේ තිබුන දුක පිට කරගන්න හොඳ අවස්ථාවක් ලැබී ඇත. දිගින් දිගටම අයියාත් අම්මාවත් ගෙනැත් දෙන සේ ඉල්ලමින් කෑගසමින් හඬන බ්ලොගිව සනසන්න කාටත් පුළුවන් වෙලා නැනැ. මේ විකාරය ඉවරවෙන පාටකුත් නැති හින්දා කටිටියම එකතුවී බොහොම දරුණු පියවරක් ක්‍රියාත්මක කරන්න තීරණය කරලා. ගෙදර තිබුන දෙහි ගෙඩි ටිකක් සොයා ගත් ලොකු අම්මා ඒවා කපා බ්ලොගීගේ ඔළුවෙත් යටපතුලෙත් තවරා ඇත්තේ එතකොටත් වෙරි බහිවිදැයි බලන්නලු. මේ වැඩේන් පස්සේ කට්ටියම බ්ලොගීව උස්සන් නාන කාමරයට අරන් ගොස් ඇත්තේ දෙහි ගෙඩියට කරන්න බැරි දේ සීතල වතරටත් පුළුවන්දැයි බලන්න. නාන කාමරයේ රෙදි සෝදන ගලේ බ්ලොගීව වාඩි කරවලා වතුර ටැංකියෙන් අයිස් වගේ සීතල වතුර අරන් බ්ලොගී නාවද්දී බ්ලොගී හූ තියන්න පටන් අරන්. තමන්ව නාවන්ට නොදී අරන් යන ලෙස කියමින් බ්ලොගී නංගීට බැගෑපත් වෙමින් හඬා ඇත.

තමන්ව නෑවු සියලු දෙනාට දෙස් තියමින් හඬන බ්ලොගීව නැවතත් කාමරයට මාරු කරද්දි වත් බ්ලොගීගේ කට වැහිලා නැහැ. ඒ ගමන බ්ලොගීට මතක් උනේ මීට අවුරුදු ගනනාවකට කලින් (බ්ලොගී සා පෙ ලියන කාලෙ) ඉඳලා බ්ලොගීට ඇණයක් උන කොළු ගැටයෙක්ව. මේ කොළු ගැටය තවමත් ඉඳලා හිටලා කොහෙන් හරි මතු වෙලා බ්ලොගීට ඇණයක් වෙනවා. ඒ පාර ඒ කොළු ගැටයව මරණ්නයි බ්ලොගීට උවමනා උනේ. ඒ කොළු ගැටයවත් ඒයාට සපෝට් කරන සියලු දෙනාවත් එක පාරින් මරා දමන බවට බ්ලොගී දිවුරා ඇත (දැක්ක නේද බ්ව්වම එන පිට් එක). එයින් බ්ලොගීව නිහඬ කරන්නට හැකිවී ඇත්තේ හෙට උදේම ගිහින් ඒ කොළු ගැටයට තලන්නට බ්ලොගීට උදව් කරන බවට අයියා කිවුවට පස්සෙයි.

ඉතිං ඔහොම පැයක් විතර නා නා ප්‍රකාර දේ කියමින් සිටි බ්ලොගීට දොයි මත වෙලා තියෙන්නේ ගෙදර හැමෝටම බ්ලොගීව නලවල හති වැටුනට පස්සෙයි. තව තවත් විකාර කරන්න ගත්තොත් sleeping tablet පොවන්නත් ගෙදර කට්ටිය කතා උනා කියලා බ්ලොගීට පස්සේ ආරංචි උනා.

හොඳට නිදා හිටපු බ්ලොගීට නැගිටින්නට උනේ ඔළුව පැලෙන්න තරම් රිදෙන්න ගත්ත නිසාත් බඩවැල් කැරකෙනවා වගේ දැනිච්ච බඩේ අමාරුව නිසාත්. නැගිටලා නාන කාමරේට ගිය බ්ලොගිව අඩියක් පස්සට විසික් උනේ කණ්නාඩියෙන් දැකපු රූපයට බය වෙලා. දෙහි ගාපු හින්දද කොහද කෙස් වලු ටික කෙලින් වෙලි තිබුනේ කරන්ට් වැදිච්ච කාක්කෙක්ගේ පිහාටු වගෙයි. ඇස් ගෙඩි දෙක රතු පාටයි. අඬපු නිසාම මූණත් තඩිසිසි වෙලා. අවශ්‍යතාව ඉටු කරගත් බ්ලොගී අයෙත් ගොහින් දොයියා ගත්තා.

උදේ නැගිට්ටම වෙච්චිදේ හිතා ගත්හැකියි නේ. බ්ලොගීගේ ආච්චි ඇතුළු වැඩිහිටි පාර්ශවයෙන් බ්ලොගීට කනේ ඇඟිලි ගහ ගන්න ලුණු ඇඹුල් ගොරක ඇතුව හොඳට අහගන්න ලැබුනා. ඒ මදිවට බ්ලොගී පිරිවරේ අයගේ කතා. නංගී බ්ලොගීගේ ව්කාර ඔක්කොම ඒයාගේ mobile phone එකෙන් record කරලා හැමෝටම cast කරනවා. මමත් ඔය වීඩියෝ එකක් දෙකක් බැලුවෝ. හයීයෝ...!එකම විකාරයක් ...! පොළොව පලා ගෙන ගහින් හැංගෙන්න හිතුනා බ්ලොගීට.

ඔහොම හැමෝගෙම විහිළු අස්සේ බ්ලොගීගේ හිතේ තව පොඩි බයකුත් ඇතිවෙලා. ඇයි දැන් බ්ලොගී කරපු වැඩේ ගැන SPBR දැන ගත්තොත් විසුමක් නෑ. මොකද එයා වත් නොකරන වැඩක් තමා බ්ලොගී කරලා තියෙන්නෙ. ඔහොම කල්පනා කර කර ඉන්න කොට බ්ලොගීට එනවා call එකක්. කාගෙන්ද සතියක් විතර තරහා වෙලා කතා නොකර හිටපු අරයාගෙන්. බ්ලොගී ගැහැ ගැහී call එක answer කරා. “අවුලක් නෑ මම ඔයාට සමාව දුන්නා. දැන් අපි යාළුයි.” එයා කියනවා. “ඉතිං දෙවියනේ මම කවද්ද ඔයාගෙන් සමාව ඉල්ලුවේ” මම ඇහුවා. “ඇයි මේ ඔයා ඊයේ රෑ msg එකක් දාලා තියෙන්නේ” “මම කරපු වැරදි වලට සමාවෙන්න” කියලා. මාවත් අමතක වෙලා හිටි මම කොහොමද msg එකක් type කරන්නේ. මමත් කල්පනා කලා. බ්ලොගීගේ අයියණ්ඩි මෙතැනින් ගියේ ඔය වෙලාවේ. අයියා බ්ලොගීට ඇහැක් ගහලා අමුතු පහේ හිනාවකුත් දාගෙනයි ගියේ. පස්සේ තමා බ්ලොගීට ඇත්ත වැ‍ටහුනේ. අයියා බ්ලොගීට වෙච්ච පොරොන්දුව ඒ විදියටම ඉෂ්ඨ කරලා.

නිමි!

දුකට බොන්නේ පිරිමි විතරද?? 2

ඉතිං ඔය අතරෙ අර අක්කත් ලඟම එනවා කියලා බ්ලොගීට පණිවිඩේ හම්බ උනා. 
බ්ලොගියි නංගියි අයියයි හනි හනිකේ ලැහැස්ති උනේ වාහනේ ගේ ගාවට ආ සැනින් පැන ගන්න. ඔය අතරෙ තමයි බ්ලොගීගේ සරීර කූඩුව අස්සේ මහා පෙරළියක ආරම්භයක් ඇති වෙන්න ගත්තේ. ඉස්සෙල්ලාම බ්ලොගීගේ කන් දෙකන් පටන් ගත්ත රස්නය මුහුණ පුරා පැතිරෙන්න ගත්තා. ඊට පස්සේ හීන් දාඩියකුත් දාන්න ගත්තා. බ්ලොගී ලෑස්තිවීම පැත්තකින් තියලා බිම වාඩි උනේ කාමරේම ලාවට කැරකෙනවා වගේ දැනෙන් ගත්ත නිසයි. මේ අතර කොහෙද හැංගිලා හිටපු කුරුල්ලෙකුයි තරු පොකුරකුයි බ්ලොගීගේ ඔළුව වටේ කරණම් ගහන්න ගත්තා. ෂූ..ෂූ...ෂූ! බ්ලොගී අත ගසලා කුරුල්ලව එලවන් උත්සහ ගත්තා. තරුව කුරුල්ල පස්සේ දුවනවද කුරුල්ල තරුව පස්සේ එළවනවද? බ්ලොගීට එකම ප්‍රශ්නයයි. 
අයියා....! අයි....යා! 
බ්ලොගී පත්වෙලා හිටපු මේ තත්වෙ දුටුව නංගී කෑමොර දෙන්න ගත්තා. අයියා බය වෙච්චි පාර පුටුවකුත් පෙරලං දුවන් එනවා. නෑ නෑ අයියයි තව කවුරුහරිත් දුවන් එනවා. එයත් අයියා වගේමයි. නෑ නෑ අයියලම දෙන්නෙක්ද කොහෙද? බ්ලොගීගේ විකාරෙ දුටු අයියා ඔළුවේ අතගහ ගත්තේ කාරණේ තේරුම් අරන් වගේ. අලි මදිවට කොටි කියලා ආන් අර අක්කලත් එනව. දැන් තමා බ්ලොගියට අමාරුම හරිය. කෙලින් ඉන්නත් බැහැ. වෙරි කියල පෙන්නන්නත් බැහැ. මොකද අර එන නෑදැ පිරිවරේ වැඩිහිටි අය දෙතුන් දෙනෙකුත් ඉන්න නිසා. කොහොම හරි නැගිට ගත්ත බ්ලොගී එන අය පිළිගන්න ඉස්සරහට ගියා. 
හානේ...! ඔයාගේ හැටි. ඇදිලා ගිහින්...! ඇස් යට ගහින්...! කළුත් වෙලා..! ඇයි මේ අඬලා ...! අසනීපෙන්ද? ආපු හැමෝම බ්ලොගීව වැළඳගෙන බ්ලොගීගේ රූප ශ්‍රීය වර්ණනා කරන්න ගත්තා.හී...! හී...! ප්‍රශ්න අහන හැමෝටම බ්ලොගීගේ පිළිතුර උනේ ඔය එළු හිනාව. කට අරින්නත් බෑ. ඒ තරම් සුවඳයි. "හා හා, ඉක්මනට යමු නේ? රෑත් වෙනවා" අයියා ගමන හදිස්සි කරේ බ්ලොගී කොයි වෙලෙ පිස්සු නටන්න ගනීද කියලා දන්නැති නිසා. බ්ලොගී යන යන තැන අයියා බ්ලොගී ඇඳන් හිටපු T-Shirt එකෙ කොනකින් අල්ලගෙන යනවා. ඉතිං ඔහොම කට්ටියම වෑන් එකට නැග ගත්තයි කියමුකො. අයියා බ්ලොගියවත් ඇද ගෙන පිටි පස්සම සීට් එකට ගියා. දැන් බ්ලොගී ඉන්නේ අයියටයි නංගිටයි මැදි වෙලා. බ්ලොගීගේ ඔළුව බෙල්ලෙන් ගැළවිලා වගේ දෙපැත්තට වැනි වැනී අයියගෙයි නංගිගෙයි උරහිස් වල මාරුවෙන් මාරුවට සැතපෙනවා. "
අයියා...! අයියා....!" "මට අරයට කෝල් එකක් අරන් දෙන්න, අරන් දෙන්නකෝ...! මට එයාට කතා කරන්න ඕන! කෝල් එකක් අරන් දෙන්න කෝ." ඔය අතරේ බ්ලොගීට එයාගේ ආදරේ මතක් වෙලා අයියට පින්සෙඬු වෙන්න පටන් ගත්තා. " ඒයි ඒයි කට කට වහගන්න, ගෙදර ගිහින් එයාට කතා කරමු, දැන් එපා" අයියා බ්ලොගීගේ mobile phone එක උදුර ගත්තා. දැනි දිගින් දිගටම බ්ලොගීගෙන් අයියට ඔය කරදරේ සිද්ධ උනා. බැරිම තැන අයියා බ්ලොගීගේ කට අතින් තද කරලා වහ ගත්තා. දැන් බ්ලොගීට මීක් ගාන්නවත් බෑ. 
මෙහෙම කල්පනා කර කර යද්දි සුපුරුදු ගොඩනැගිලි, පන්සල්,කෝවිල් පහු කරගෙන යනවා කියලා බ්ලොගීට තේරෙනවා. ඔය අතරෙම බ්ලොගිට එයාගේ ආදරෙත් මතක් වෙනවා. ඇස් වලින් කඳුලුත් ගලනවා..! මේක දැකපු අයියා බ්ලොගීගේ කටෙන් අත ගත්තේ බ්ලොගීගේ හුස්ම වත් හිර වෙලාද කියන බයට වෙන්නැති. "ඈ...ෑ ෑ...ෑ....ෑ., හහ්...හහ්...හහ්...ඈ........ඈ....!" බ්ලොගී මහ හයියෙන් කෑගහල අඬන්න පටන් ගත්තා, "මට කෝල් එකක් අරන් දෙන්නඩකෝ...ඕ ...ඕ...!, මට එයාට කතා කරලා සොරි කියන්න ඕ....නේ.....නේ...නේ! මට කෝල් එකක් අරන් දෙන්නඩකෝ...ඕ ...ඕ...! "එයා මාත් එක්ක තරහ වෙලා....නේ! මට කතා කරේ නෑ එයා....! ඈ...ෑ ෑ...ෑ....ෑ" බ්ලොගී අඬනවා. "හරි හරි මම ඔයාලව යාළු කරලා දෙන්නම් කෝ" අයියා පොරොන්දු වෙනවා. "ඈ...ෑ ෑ...ෑ....ෑ" වැඩේ හරියන්නෑ කියලා තේරුන අයියයි නංගියි බ්ලොගීව නිදි කරවන්න උත්සහ ගත්තා...! හනේ මගේ කට...! මට එය වසාගෙන සිටින්නට උවමනා ඇතත් එය නොවැසෙයි. මේ මොන පුදුමයක්ද? එය ඔහේ කියවයි. කටට එන දේ කියවයි. විකාර කියවයි. හරියට මගේ කට නෙමෙයි වගේ. වෙන කාගෙද වාචාලයෙක්ගේ කට මට බද්ධ කරලා වගේ. මගේ කට මගේ පාලනයෙන් තොරයි. බ්ලොගීට හරියටම මතක එච්චරයි. ඉන් පසු සිදධ උන කිසිම දෙයක් සත්තකින්ම බ්ලොගීට මතක නැත. ඒත් කතාව ඉවරත් නැත. ඒත් මම මෙතනින් එහාට කියන්නේ බ්ලොගී හැසිරුන විදිය ගැන අයියා නංගී ඇතුළු බ්ලොගීගේ ගෙදර ඈයෝ තමාත් කිය කියා හිනැහෙන දේවල්ය.

Thursday, December 24, 2009

දුකට බොන්නේ පිරිමි විතරද??

අද කියන යන්නේ බ්ලොගී මුහුණදීපු සාමාන්‍යයෙන් අසාමන්‍ය සිද්ධියක් ගැනයි. අනේ ඉතිං මේක කියවලා බ්ලොගී ගැන අහිතක් එහෙම හිතන්න එපා ඔන්න. 

සිද්දිටය මුල මේකයි. බ්ලොගී හෙවත් මගේ අතිජාත ප්‍රේම කතාව ගැන හැමෝම දන්නවනේ. ඉතිං එකෝමත් එක දවසක ඕං ඔය සත්‍ය ප්‍රේම බෘංග රජාත් එක්ක මම පොඩිම පොඩි සිද්දියකට බරපතළ වචන වලින් ගහමරාගෙන දවස් ගනන් කතා නොකර දෙපැත්තට වෙලයි හිටියේ. මාත් බැලුවා දවසක් දෙකක්. එහා පැත්තෙන් කිසිම response එකක් තිබුනෙම නෑ. ඒ කියල සකන්ඩ් වෙයිද මම. මාත් ඔහේ හිටියා. ඒත් ඉතිං ඉස්සර කාලෙ මතක් වෙලා බ්ලොගීගේ ඇහැට නොදැනීම කඳුළු බින්දුවකුත් ආවෙ නැතුව නොවෙයි. ඔහොම ඉන්න ඉන්න බ්ලොගීගේ සාංකාව වැඩි දියුණු වෙලා ඒ අස්සෙන් තරහකුත් කැකෑරෙන්න ගත්තා. කල්පනා කරලා කරලා බ්ලොගී හිතා ගත්තා මේච්චර කල් බ්ලොගීව ගනන් ගන්නේ නැතුව හිටි එක්කෙනාට පාඩමක් උගන්වන්න. 

එදා සුපුරුදු පරිදි බ්ලොගී වැඩට ගොහින් ගාට ගාට ගෙදරට ගොඩ උනාය කියමුකෝ. ගොඩක් දුර පයිං ගාටපු හන්දා වේලිලා තියෙන් උගුර කට වේල ගන්න බ්ලොගී ෆ්‍රිජ් එක ඇරියා. හ්ම්...ම්. ෆ්‍රිජ් එකේ අමුතු බෝතලයක් කූල් එකේ බලන් ඉන්නවා. තියෙන්නේ නම් වතුර වගේ. මම ඒක අතට අරන් කරකවලා බැලුවා. "White Diamond"......! ඒකෙ සඳහන් වෙලා තිබුනේ එහෙමයි. බෝතලෙන් බාගයක්ම දැනටමත් ඉවර කරලා. ( බ්ලොගී‍ ඇති වෙච්ච සොර සතුරු බියකට පිළියම් වශයෙන් බ්ලොගීගේ ලොකු අම්මගේ පුතා ටික දවසකට බ්ලොගී ලැයි ගෙදර පැලපදියං වෙලයි හිටියේ. මේ බෝතලේ අයිති එයාට) තවත් භාගයක්ම බෝතලේ තියෙනවා. මම හිමින් මූඩිය ඇරලා බෝතල් කට නහයට තියලා හොඳ හුස්මක් ගත්තා. ඈ ෑ ෑක් කා කා..! Expired වෙච්චි ඔඩිකොලොන්ග් එකක් වගෙයි ගඳ. ඉතිං ඔහොම බෝතලේ අතේ තියං ඉද්දි බ්ලොගීගේ මොලේ කොණක ටිං ටිං ටිං ගාලා සිග්නල් එකක් වැදෙන්න ගත්තා. සාමාන්‍යයෙන් මින්ස්සු බොන්නේ දුකටනේ. ඉතිං බ්ලොගී ඉන්නෙත් දුකින්. සමහර මිනිස්සු තරහටත් බොනවානේ. ඉතිං බ්ලොගී ඉන්නෙත් තරහෙන්. සමහරු කාට හරි මුණටම බනින්න තියෙන් බයට බීලා වැට ගාවට ගිහින් බැනලා එනවනේ. ඉතිං බ්ලොගීටත් අහවල් පොරට පළු යන්න බනින ඕන, ඒත් බයයි. ඉතිං මේ හැමදේටම විසදුම දැන් බ්ලොගීගෙ අතේ තියෙනවා. හිමීට වට පිට බලපු බ්ලොගී අර බෝතලේ කටට හලා ගත්තා. 

ගුඩුක්............! ගුඩුක්........! ගඩුක්...! ඔ...ඈ...ෑ...ෑ...ක්.. ගුඩුක්............! ගුඩුක්........! ගඩුක්...! ඔ...ඈ...ෑ...ෑ...ක්.. 

බොන ඔක්කොම ආපස්සට එනවා. ඒත් මම නෙමෙයි අතඇරියේ. උගුර කට පිච්චිලා ගියත් බඩවැල් ඇඹරිලා යන්න ගියත් මම නෙමෙයි අත ඇරියේ. හ්ම්.! බෝතලේ ඉවරයි. මම දුවලා ගියා ටැප් එක ගාවට. පිරෙව්වා වතුර එකක් බෝතලේ බාගයකට දැම්මා ෆ්‍රිජ් එකේ.මම වැඩ ඇරිලා ගෙදර ඇවිත් අච්චර ජඩ වැඩක් කරලා ඉවරවෙන කල් වත් දන්නැතුව නංගි මලක් කඩනවා. මමත් ඉතිං පූසා වගේ ඇදුම් මාරු කරලා එහෙම පිළිවෙලකට හිටියේ එදා හවස බ්ලොගීගේ අක්කා කෙනෙක් එනවා කියලා තිබුන හන්දා. එයා එන්නෙත් නිකං නෙමෙයි නෑදැ පිරිවරකුත් එක්ක වෑන් එකේ. අක්කා ආපු ගමන්ම බ්ලොගීවත්, නංගිවත් අයියවත් එක්කගෙන බ්ලොගීගේ ආදරණීය බඳුළු පුරවරේ බලා පිටවෙන්න තමා ප්ලෑන් එක වෙලා තිබුනේ. 

හප්පා මහන්සියි. මේ ටිකත් ලියා ගත්තේ ඔපීසියේ දහසක් බාධක මැද. ඉතුරු ටික අනිත් දවසක දැම්මට අහිතක් නෑ නේද?හැමෝටම සුභම සුභ නත්තලක් වේවා කියලා බ්ලොගී මුළු හදින්ම සුභ පතනවා.........!


Saturday, December 19, 2009

සමුගැන්ම

http://3.bp.blogspot.com/_9oTRM8KkaOs/SbMdwwHyX7I/AAAAAAAAACo/VLdK3jVUAu8/s320/dear_diary.gifකෝ.......!කෝ..........! මේතනනේ තිබ්බේ..! ඔව් මට හොඳට මතකයි......!මෙතන තමයි තිබ්බේ....! කෝ...! කවුද ගත්තේ..? මේකට මොනා උනාද? හොඳටම සුවර්...! මෙතනමයි තිබ්බේ..! මේක යකාගේ වැඩක් නේ බොල.. !

හාාාාා මේ තියෙන්නේ...! මගේ සූකිරි කැටේ. උම්මා........! හෑ......හ්! හෑ......හ්! හෑ.........හ්! හැච්ච්ච්....චූ....චු.....චූ...ම්...! හප්පේ! දූවිලි නාලා...! මකුළු දැල් බැ‍ඳලා..! කොහෙද හැංගිලා හිටියේ....? මම කොච්චර නම් හෙව්වද? නෝටියා..! ආයේ මාව දාලා ගියොත් ගානවා ගානවා පොළවේ. යන්නෑනේද? හම්...! ඒත් ඉතිං තව දවස් කීයද ඔයා මාත් එක්ක ඉන්නේ..! ලබන අවුරුද්දේ මට අළුත් එක්කෙනෙක් හොයා ගන්න වෙනවානේ..! එතකොට ඔයාට මොකද වෙන්නේ...! කමක් නෑ මම ඔයාව විසි කරන්නේ නැහැ.මේ අවුරුද්දේම මාත් එක්ක හිටිය වගේ ඔයා හැමදාම මගේත් එක්කම ඉන්න..!

කලින් වගෙම හැමදාමත් ඔයා මගේ ආදරණීය දිනපොත හෙවත් බ්ලොගීගේ ඩයරිය.!

http://cathryno.globalteacher.org.au/files/2009/10/Girl-Hugging-Words1.jpg

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails