Sunday, December 27, 2009

දුකට බොන්නේ පිරිමි විතරද?? 3

ඉතිං ඔහොම කියව කියව ගිය බ්ලොගීට කිසි දෙයක සිහියක් තිබුනේ නැත. පසු දින අයියා සහ අනිත් අය විස්තර කල ආකරයටයි මේ කතාව මම ලියන්නේ.

අයියා - “ඒයි ඔන්න ගෙදර ආවා, දැන් අපි බහින්න ඕන, ඒයි ඒයි ඇහෙනවද? බහින්න පුළුවන්ද?”

බ්ලොගී - “ආ.....! හා... හා!”

අයියා බ්ලොගී වත්තම් කරගෙන වෑන් එකෙන් බහි. බැස්ස පසුත් බ්ලොගීව අල්ලාගෙන සිටින්නේ අයියා විසිනි.

අයියා - “ඔයාට ඇවිදින්න පුළුවන්ද?”

බ්ලොගී - “පුළුවන් පුළුවන්” “ඇයි මට බැරි?”

අයියා හෙමින් බ්ලොගීව අල්ලාගෙන සිටි අත බුරුලු කරේ වෑන් එකේ තිබුන බ්ලොගිගේ සපත්තු දෙක ගන්නටලු.

දඩාං..! බිඩිං...! ඩෝ...ං! බ්ලොගීලගේ ගෙදර වතුර යන කානුවෙ, පෙරදා වැස්සට මඩවී නාරා වලක් වී තිබුන වතුර වලට බ්ලොගී වැටී ඇත්තේ එහි සිටි ඉස්ගෙඩියන් ගෙම්බන් පනුවන් සියල්ල වලෙන් ගොඩ කරවමිනි.

දැන් ඉතිං මොනා කරන්නද? අයියා නංගීවත් උදව් කරගෙන පිටි මූට්ටයක් සේ බ්ලොගීවත් කර ගහගෙන ගෙදරට ගාටා ඇත. (බ්ලොගීගේ මහගෙයත් බ්ලොගීගේ ලොකු අම්මාගේ ගෙයත් ඇත්තේ එක ලඟය. සාමාන්‍යයෙන් නෑදෑ පිරිවර යන්නේ මහගෙදරටයි. අයියා බ්ලොගිවත් උස්සගෙන ලොකු අම්මාගේ ගෙදරට ගිහින් ඇත්තේ නෑදැයෝ ටික වැඩිය ඒ පැත්තට නොඑන බැවිනි.) බ්ලොගී අයියාගේ කර උඩින් එන හැටි දුටු ලොකු අම්මා ඇස් උඩදාගෙන බලා සිට ඇත්තේ වෙනදට යස අගේට ලොකු අම්මව හොයාගෙන දුවගෙන එන බ්ලොගියට මක් උනාද කියලයි. මඩ නාගෙන සිටි බ්ලොගීව ගෙදර කාමරයක බිමින් තියන ලදි. මේ සියල්ල වෙද්දිත් බ්ලොගීගේ කට වැහුනේ නැතිලු. මෙච්චර කල් කාටවත්ම නොකියා හිතේ තියාගෙන දුක් විඳපු සියලු දෑ හෙලි කරමින් බ්ලොගී අඬා ඇත. විදෙස් ගතව සිටින අම්මාවත් අයියාවත් මේ දැන් මෙතනට ගෙනත් දෙන්න කියමින් බ්ලොගී හඬා ඇත. පුංචි කාලයේ පටන්ම අම්මාගේ උණුසුම නැතුව හැදුන ඒ අඩුව ගොඩක් දැනිලා තිබුනත් ඒ බව කාටත් නොපෙන්වා හැම වෙලේම සිනා මුහුණෙන් සිටි බ්ලොගිට හිතේ තිබුන දුක පිට කරගන්න හොඳ අවස්ථාවක් ලැබී ඇත. දිගින් දිගටම අයියාත් අම්මාවත් ගෙනැත් දෙන සේ ඉල්ලමින් කෑගසමින් හඬන බ්ලොගිව සනසන්න කාටත් පුළුවන් වෙලා නැනැ. මේ විකාරය ඉවරවෙන පාටකුත් නැති හින්දා කටිටියම එකතුවී බොහොම දරුණු පියවරක් ක්‍රියාත්මක කරන්න තීරණය කරලා. ගෙදර තිබුන දෙහි ගෙඩි ටිකක් සොයා ගත් ලොකු අම්මා ඒවා කපා බ්ලොගීගේ ඔළුවෙත් යටපතුලෙත් තවරා ඇත්තේ එතකොටත් වෙරි බහිවිදැයි බලන්නලු. මේ වැඩේන් පස්සේ කට්ටියම බ්ලොගීව උස්සන් නාන කාමරයට අරන් ගොස් ඇත්තේ දෙහි ගෙඩියට කරන්න බැරි දේ සීතල වතරටත් පුළුවන්දැයි බලන්න. නාන කාමරයේ රෙදි සෝදන ගලේ බ්ලොගීව වාඩි කරවලා වතුර ටැංකියෙන් අයිස් වගේ සීතල වතුර අරන් බ්ලොගී නාවද්දී බ්ලොගී හූ තියන්න පටන් අරන්. තමන්ව නාවන්ට නොදී අරන් යන ලෙස කියමින් බ්ලොගී නංගීට බැගෑපත් වෙමින් හඬා ඇත.

තමන්ව නෑවු සියලු දෙනාට දෙස් තියමින් හඬන බ්ලොගීව නැවතත් කාමරයට මාරු කරද්දි වත් බ්ලොගීගේ කට වැහිලා නැහැ. ඒ ගමන බ්ලොගීට මතක් උනේ මීට අවුරුදු ගනනාවකට කලින් (බ්ලොගී සා පෙ ලියන කාලෙ) ඉඳලා බ්ලොගීට ඇණයක් උන කොළු ගැටයෙක්ව. මේ කොළු ගැටය තවමත් ඉඳලා හිටලා කොහෙන් හරි මතු වෙලා බ්ලොගීට ඇණයක් වෙනවා. ඒ පාර ඒ කොළු ගැටයව මරණ්නයි බ්ලොගීට උවමනා උනේ. ඒ කොළු ගැටයවත් ඒයාට සපෝට් කරන සියලු දෙනාවත් එක පාරින් මරා දමන බවට බ්ලොගී දිවුරා ඇත (දැක්ක නේද බ්ව්වම එන පිට් එක). එයින් බ්ලොගීව නිහඬ කරන්නට හැකිවී ඇත්තේ හෙට උදේම ගිහින් ඒ කොළු ගැටයට තලන්නට බ්ලොගීට උදව් කරන බවට අයියා කිවුවට පස්සෙයි.

ඉතිං ඔහොම පැයක් විතර නා නා ප්‍රකාර දේ කියමින් සිටි බ්ලොගීට දොයි මත වෙලා තියෙන්නේ ගෙදර හැමෝටම බ්ලොගීව නලවල හති වැටුනට පස්සෙයි. තව තවත් විකාර කරන්න ගත්තොත් sleeping tablet පොවන්නත් ගෙදර කට්ටිය කතා උනා කියලා බ්ලොගීට පස්සේ ආරංචි උනා.

හොඳට නිදා හිටපු බ්ලොගීට නැගිටින්නට උනේ ඔළුව පැලෙන්න තරම් රිදෙන්න ගත්ත නිසාත් බඩවැල් කැරකෙනවා වගේ දැනිච්ච බඩේ අමාරුව නිසාත්. නැගිටලා නාන කාමරේට ගිය බ්ලොගිව අඩියක් පස්සට විසික් උනේ කණ්නාඩියෙන් දැකපු රූපයට බය වෙලා. දෙහි ගාපු හින්දද කොහද කෙස් වලු ටික කෙලින් වෙලි තිබුනේ කරන්ට් වැදිච්ච කාක්කෙක්ගේ පිහාටු වගෙයි. ඇස් ගෙඩි දෙක රතු පාටයි. අඬපු නිසාම මූණත් තඩිසිසි වෙලා. අවශ්‍යතාව ඉටු කරගත් බ්ලොගී අයෙත් ගොහින් දොයියා ගත්තා.

උදේ නැගිට්ටම වෙච්චිදේ හිතා ගත්හැකියි නේ. බ්ලොගීගේ ආච්චි ඇතුළු වැඩිහිටි පාර්ශවයෙන් බ්ලොගීට කනේ ඇඟිලි ගහ ගන්න ලුණු ඇඹුල් ගොරක ඇතුව හොඳට අහගන්න ලැබුනා. ඒ මදිවට බ්ලොගී පිරිවරේ අයගේ කතා. නංගී බ්ලොගීගේ ව්කාර ඔක්කොම ඒයාගේ mobile phone එකෙන් record කරලා හැමෝටම cast කරනවා. මමත් ඔය වීඩියෝ එකක් දෙකක් බැලුවෝ. හයීයෝ...!එකම විකාරයක් ...! පොළොව පලා ගෙන ගහින් හැංගෙන්න හිතුනා බ්ලොගීට.

ඔහොම හැමෝගෙම විහිළු අස්සේ බ්ලොගීගේ හිතේ තව පොඩි බයකුත් ඇතිවෙලා. ඇයි දැන් බ්ලොගී කරපු වැඩේ ගැන SPBR දැන ගත්තොත් විසුමක් නෑ. මොකද එයා වත් නොකරන වැඩක් තමා බ්ලොගී කරලා තියෙන්නෙ. ඔහොම කල්පනා කර කර ඉන්න කොට බ්ලොගීට එනවා call එකක්. කාගෙන්ද සතියක් විතර තරහා වෙලා කතා නොකර හිටපු අරයාගෙන්. බ්ලොගී ගැහැ ගැහී call එක answer කරා. “අවුලක් නෑ මම ඔයාට සමාව දුන්නා. දැන් අපි යාළුයි.” එයා කියනවා. “ඉතිං දෙවියනේ මම කවද්ද ඔයාගෙන් සමාව ඉල්ලුවේ” මම ඇහුවා. “ඇයි මේ ඔයා ඊයේ රෑ msg එකක් දාලා තියෙන්නේ” “මම කරපු වැරදි වලට සමාවෙන්න” කියලා. මාවත් අමතක වෙලා හිටි මම කොහොමද msg එකක් type කරන්නේ. මමත් කල්පනා කලා. බ්ලොගීගේ අයියණ්ඩි මෙතැනින් ගියේ ඔය වෙලාවේ. අයියා බ්ලොගීට ඇහැක් ගහලා අමුතු පහේ හිනාවකුත් දාගෙනයි ගියේ. පස්සේ තමා බ්ලොගීට ඇත්ත වැ‍ටහුනේ. අයියා බ්ලොගීට වෙච්ච පොරොන්දුව ඒ විදියටම ඉෂ්ඨ කරලා.

නිමි!

දුකට බොන්නේ පිරිමි විතරද?? 2

ඉතිං ඔය අතරෙ අර අක්කත් ලඟම එනවා කියලා බ්ලොගීට පණිවිඩේ හම්බ උනා. 
බ්ලොගියි නංගියි අයියයි හනි හනිකේ ලැහැස්ති උනේ වාහනේ ගේ ගාවට ආ සැනින් පැන ගන්න. ඔය අතරෙ තමයි බ්ලොගීගේ සරීර කූඩුව අස්සේ මහා පෙරළියක ආරම්භයක් ඇති වෙන්න ගත්තේ. ඉස්සෙල්ලාම බ්ලොගීගේ කන් දෙකන් පටන් ගත්ත රස්නය මුහුණ පුරා පැතිරෙන්න ගත්තා. ඊට පස්සේ හීන් දාඩියකුත් දාන්න ගත්තා. බ්ලොගී ලෑස්තිවීම පැත්තකින් තියලා බිම වාඩි උනේ කාමරේම ලාවට කැරකෙනවා වගේ දැනෙන් ගත්ත නිසයි. මේ අතර කොහෙද හැංගිලා හිටපු කුරුල්ලෙකුයි තරු පොකුරකුයි බ්ලොගීගේ ඔළුව වටේ කරණම් ගහන්න ගත්තා. ෂූ..ෂූ...ෂූ! බ්ලොගී අත ගසලා කුරුල්ලව එලවන් උත්සහ ගත්තා. තරුව කුරුල්ල පස්සේ දුවනවද කුරුල්ල තරුව පස්සේ එළවනවද? බ්ලොගීට එකම ප්‍රශ්නයයි. 
අයියා....! අයි....යා! 
බ්ලොගී පත්වෙලා හිටපු මේ තත්වෙ දුටුව නංගී කෑමොර දෙන්න ගත්තා. අයියා බය වෙච්චි පාර පුටුවකුත් පෙරලං දුවන් එනවා. නෑ නෑ අයියයි තව කවුරුහරිත් දුවන් එනවා. එයත් අයියා වගේමයි. නෑ නෑ අයියලම දෙන්නෙක්ද කොහෙද? බ්ලොගීගේ විකාරෙ දුටු අයියා ඔළුවේ අතගහ ගත්තේ කාරණේ තේරුම් අරන් වගේ. අලි මදිවට කොටි කියලා ආන් අර අක්කලත් එනව. දැන් තමා බ්ලොගියට අමාරුම හරිය. කෙලින් ඉන්නත් බැහැ. වෙරි කියල පෙන්නන්නත් බැහැ. මොකද අර එන නෑදැ පිරිවරේ වැඩිහිටි අය දෙතුන් දෙනෙකුත් ඉන්න නිසා. කොහොම හරි නැගිට ගත්ත බ්ලොගී එන අය පිළිගන්න ඉස්සරහට ගියා. 
හානේ...! ඔයාගේ හැටි. ඇදිලා ගිහින්...! ඇස් යට ගහින්...! කළුත් වෙලා..! ඇයි මේ අඬලා ...! අසනීපෙන්ද? ආපු හැමෝම බ්ලොගීව වැළඳගෙන බ්ලොගීගේ රූප ශ්‍රීය වර්ණනා කරන්න ගත්තා.හී...! හී...! ප්‍රශ්න අහන හැමෝටම බ්ලොගීගේ පිළිතුර උනේ ඔය එළු හිනාව. කට අරින්නත් බෑ. ඒ තරම් සුවඳයි. "හා හා, ඉක්මනට යමු නේ? රෑත් වෙනවා" අයියා ගමන හදිස්සි කරේ බ්ලොගී කොයි වෙලෙ පිස්සු නටන්න ගනීද කියලා දන්නැති නිසා. බ්ලොගී යන යන තැන අයියා බ්ලොගී ඇඳන් හිටපු T-Shirt එකෙ කොනකින් අල්ලගෙන යනවා. ඉතිං ඔහොම කට්ටියම වෑන් එකට නැග ගත්තයි කියමුකො. අයියා බ්ලොගියවත් ඇද ගෙන පිටි පස්සම සීට් එකට ගියා. දැන් බ්ලොගී ඉන්නේ අයියටයි නංගිටයි මැදි වෙලා. බ්ලොගීගේ ඔළුව බෙල්ලෙන් ගැළවිලා වගේ දෙපැත්තට වැනි වැනී අයියගෙයි නංගිගෙයි උරහිස් වල මාරුවෙන් මාරුවට සැතපෙනවා. "
අයියා...! අයියා....!" "මට අරයට කෝල් එකක් අරන් දෙන්න, අරන් දෙන්නකෝ...! මට එයාට කතා කරන්න ඕන! කෝල් එකක් අරන් දෙන්න කෝ." ඔය අතරේ බ්ලොගීට එයාගේ ආදරේ මතක් වෙලා අයියට පින්සෙඬු වෙන්න පටන් ගත්තා. " ඒයි ඒයි කට කට වහගන්න, ගෙදර ගිහින් එයාට කතා කරමු, දැන් එපා" අයියා බ්ලොගීගේ mobile phone එක උදුර ගත්තා. දැනි දිගින් දිගටම බ්ලොගීගෙන් අයියට ඔය කරදරේ සිද්ධ උනා. බැරිම තැන අයියා බ්ලොගීගේ කට අතින් තද කරලා වහ ගත්තා. දැන් බ්ලොගීට මීක් ගාන්නවත් බෑ. 
මෙහෙම කල්පනා කර කර යද්දි සුපුරුදු ගොඩනැගිලි, පන්සල්,කෝවිල් පහු කරගෙන යනවා කියලා බ්ලොගීට තේරෙනවා. ඔය අතරෙම බ්ලොගිට එයාගේ ආදරෙත් මතක් වෙනවා. ඇස් වලින් කඳුලුත් ගලනවා..! මේක දැකපු අයියා බ්ලොගීගේ කටෙන් අත ගත්තේ බ්ලොගීගේ හුස්ම වත් හිර වෙලාද කියන බයට වෙන්නැති. "ඈ...ෑ ෑ...ෑ....ෑ., හහ්...හහ්...හහ්...ඈ........ඈ....!" බ්ලොගී මහ හයියෙන් කෑගහල අඬන්න පටන් ගත්තා, "මට කෝල් එකක් අරන් දෙන්නඩකෝ...ඕ ...ඕ...!, මට එයාට කතා කරලා සොරි කියන්න ඕ....නේ.....නේ...නේ! මට කෝල් එකක් අරන් දෙන්නඩකෝ...ඕ ...ඕ...! "එයා මාත් එක්ක තරහ වෙලා....නේ! මට කතා කරේ නෑ එයා....! ඈ...ෑ ෑ...ෑ....ෑ" බ්ලොගී අඬනවා. "හරි හරි මම ඔයාලව යාළු කරලා දෙන්නම් කෝ" අයියා පොරොන්දු වෙනවා. "ඈ...ෑ ෑ...ෑ....ෑ" වැඩේ හරියන්නෑ කියලා තේරුන අයියයි නංගියි බ්ලොගීව නිදි කරවන්න උත්සහ ගත්තා...! හනේ මගේ කට...! මට එය වසාගෙන සිටින්නට උවමනා ඇතත් එය නොවැසෙයි. මේ මොන පුදුමයක්ද? එය ඔහේ කියවයි. කටට එන දේ කියවයි. විකාර කියවයි. හරියට මගේ කට නෙමෙයි වගේ. වෙන කාගෙද වාචාලයෙක්ගේ කට මට බද්ධ කරලා වගේ. මගේ කට මගේ පාලනයෙන් තොරයි. බ්ලොගීට හරියටම මතක එච්චරයි. ඉන් පසු සිදධ උන කිසිම දෙයක් සත්තකින්ම බ්ලොගීට මතක නැත. ඒත් කතාව ඉවරත් නැත. ඒත් මම මෙතනින් එහාට කියන්නේ බ්ලොගී හැසිරුන විදිය ගැන අයියා නංගී ඇතුළු බ්ලොගීගේ ගෙදර ඈයෝ තමාත් කිය කියා හිනැහෙන දේවල්ය.

Thursday, December 24, 2009

දුකට බොන්නේ පිරිමි විතරද??

අද කියන යන්නේ බ්ලොගී මුහුණදීපු සාමාන්‍යයෙන් අසාමන්‍ය සිද්ධියක් ගැනයි. අනේ ඉතිං මේක කියවලා බ්ලොගී ගැන අහිතක් එහෙම හිතන්න එපා ඔන්න. 

සිද්දිටය මුල මේකයි. බ්ලොගී හෙවත් මගේ අතිජාත ප්‍රේම කතාව ගැන හැමෝම දන්නවනේ. ඉතිං එකෝමත් එක දවසක ඕං ඔය සත්‍ය ප්‍රේම බෘංග රජාත් එක්ක මම පොඩිම පොඩි සිද්දියකට බරපතළ වචන වලින් ගහමරාගෙන දවස් ගනන් කතා නොකර දෙපැත්තට වෙලයි හිටියේ. මාත් බැලුවා දවසක් දෙකක්. එහා පැත්තෙන් කිසිම response එකක් තිබුනෙම නෑ. ඒ කියල සකන්ඩ් වෙයිද මම. මාත් ඔහේ හිටියා. ඒත් ඉතිං ඉස්සර කාලෙ මතක් වෙලා බ්ලොගීගේ ඇහැට නොදැනීම කඳුළු බින්දුවකුත් ආවෙ නැතුව නොවෙයි. ඔහොම ඉන්න ඉන්න බ්ලොගීගේ සාංකාව වැඩි දියුණු වෙලා ඒ අස්සෙන් තරහකුත් කැකෑරෙන්න ගත්තා. කල්පනා කරලා කරලා බ්ලොගී හිතා ගත්තා මේච්චර කල් බ්ලොගීව ගනන් ගන්නේ නැතුව හිටි එක්කෙනාට පාඩමක් උගන්වන්න. 

එදා සුපුරුදු පරිදි බ්ලොගී වැඩට ගොහින් ගාට ගාට ගෙදරට ගොඩ උනාය කියමුකෝ. ගොඩක් දුර පයිං ගාටපු හන්දා වේලිලා තියෙන් උගුර කට වේල ගන්න බ්ලොගී ෆ්‍රිජ් එක ඇරියා. හ්ම්...ම්. ෆ්‍රිජ් එකේ අමුතු බෝතලයක් කූල් එකේ බලන් ඉන්නවා. තියෙන්නේ නම් වතුර වගේ. මම ඒක අතට අරන් කරකවලා බැලුවා. "White Diamond"......! ඒකෙ සඳහන් වෙලා තිබුනේ එහෙමයි. බෝතලෙන් බාගයක්ම දැනටමත් ඉවර කරලා. ( බ්ලොගී‍ ඇති වෙච්ච සොර සතුරු බියකට පිළියම් වශයෙන් බ්ලොගීගේ ලොකු අම්මගේ පුතා ටික දවසකට බ්ලොගී ලැයි ගෙදර පැලපදියං වෙලයි හිටියේ. මේ බෝතලේ අයිති එයාට) තවත් භාගයක්ම බෝතලේ තියෙනවා. මම හිමින් මූඩිය ඇරලා බෝතල් කට නහයට තියලා හොඳ හුස්මක් ගත්තා. ඈ ෑ ෑක් කා කා..! Expired වෙච්චි ඔඩිකොලොන්ග් එකක් වගෙයි ගඳ. ඉතිං ඔහොම බෝතලේ අතේ තියං ඉද්දි බ්ලොගීගේ මොලේ කොණක ටිං ටිං ටිං ගාලා සිග්නල් එකක් වැදෙන්න ගත්තා. සාමාන්‍යයෙන් මින්ස්සු බොන්නේ දුකටනේ. ඉතිං බ්ලොගී ඉන්නෙත් දුකින්. සමහර මිනිස්සු තරහටත් බොනවානේ. ඉතිං බ්ලොගී ඉන්නෙත් තරහෙන්. සමහරු කාට හරි මුණටම බනින්න තියෙන් බයට බීලා වැට ගාවට ගිහින් බැනලා එනවනේ. ඉතිං බ්ලොගීටත් අහවල් පොරට පළු යන්න බනින ඕන, ඒත් බයයි. ඉතිං මේ හැමදේටම විසදුම දැන් බ්ලොගීගෙ අතේ තියෙනවා. හිමීට වට පිට බලපු බ්ලොගී අර බෝතලේ කටට හලා ගත්තා. 

ගුඩුක්............! ගුඩුක්........! ගඩුක්...! ඔ...ඈ...ෑ...ෑ...ක්.. ගුඩුක්............! ගුඩුක්........! ගඩුක්...! ඔ...ඈ...ෑ...ෑ...ක්.. 

බොන ඔක්කොම ආපස්සට එනවා. ඒත් මම නෙමෙයි අතඇරියේ. උගුර කට පිච්චිලා ගියත් බඩවැල් ඇඹරිලා යන්න ගියත් මම නෙමෙයි අත ඇරියේ. හ්ම්.! බෝතලේ ඉවරයි. මම දුවලා ගියා ටැප් එක ගාවට. පිරෙව්වා වතුර එකක් බෝතලේ බාගයකට දැම්මා ෆ්‍රිජ් එකේ.මම වැඩ ඇරිලා ගෙදර ඇවිත් අච්චර ජඩ වැඩක් කරලා ඉවරවෙන කල් වත් දන්නැතුව නංගි මලක් කඩනවා. මමත් ඉතිං පූසා වගේ ඇදුම් මාරු කරලා එහෙම පිළිවෙලකට හිටියේ එදා හවස බ්ලොගීගේ අක්කා කෙනෙක් එනවා කියලා තිබුන හන්දා. එයා එන්නෙත් නිකං නෙමෙයි නෑදැ පිරිවරකුත් එක්ක වෑන් එකේ. අක්කා ආපු ගමන්ම බ්ලොගීවත්, නංගිවත් අයියවත් එක්කගෙන බ්ලොගීගේ ආදරණීය බඳුළු පුරවරේ බලා පිටවෙන්න තමා ප්ලෑන් එක වෙලා තිබුනේ. 

හප්පා මහන්සියි. මේ ටිකත් ලියා ගත්තේ ඔපීසියේ දහසක් බාධක මැද. ඉතුරු ටික අනිත් දවසක දැම්මට අහිතක් නෑ නේද?හැමෝටම සුභම සුභ නත්තලක් වේවා කියලා බ්ලොගී මුළු හදින්ම සුභ පතනවා.........!


Saturday, December 19, 2009

සමුගැන්ම

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCCKCs5ZQX1__600Ig2V0OTECuPR_YXvwjTcXzLiXyPkNKsfrD4SGnw86jz_ejcxtIHkZefsQgKJYFPGdc2TWyHXWtuyZ4RfrEaR6_Gi7OMTV6L0ZSC3_G5MDtSS2dvp_gS8Hgm0S4O-ss/s320/dear_diary.gifකෝ.......!කෝ..........! මේතනනේ තිබ්බේ..! ඔව් මට හොඳට මතකයි......!මෙතන තමයි තිබ්බේ....! කෝ...! කවුද ගත්තේ..? මේකට මොනා උනාද? හොඳටම සුවර්...! මෙතනමයි තිබ්බේ..! මේක යකාගේ වැඩක් නේ බොල.. !

හාාාාා මේ තියෙන්නේ...! මගේ සූකිරි කැටේ. උම්මා........! හෑ......හ්! හෑ......හ්! හෑ.........හ්! හැච්ච්ච්....චූ....චු.....චූ...ම්...! හප්පේ! දූවිලි නාලා...! මකුළු දැල් බැ‍ඳලා..! කොහෙද හැංගිලා හිටියේ....? මම කොච්චර නම් හෙව්වද? නෝටියා..! ආයේ මාව දාලා ගියොත් ගානවා ගානවා පොළවේ. යන්නෑනේද? හම්...! ඒත් ඉතිං තව දවස් කීයද ඔයා මාත් එක්ක ඉන්නේ..! ලබන අවුරුද්දේ මට අළුත් එක්කෙනෙක් හොයා ගන්න වෙනවානේ..! එතකොට ඔයාට මොකද වෙන්නේ...! කමක් නෑ මම ඔයාව විසි කරන්නේ නැහැ.මේ අවුරුද්දේම මාත් එක්ක හිටිය වගේ ඔයා හැමදාම මගේත් එක්කම ඉන්න..!

කලින් වගෙම හැමදාමත් ඔයා මගේ ආදරණීය දිනපොත හෙවත් බ්ලොගීගේ ඩයරිය.!

http://cathryno.globalteacher.org.au/files/2009/10/Girl-Hugging-Words1.jpg

Sunday, June 14, 2009

හිතේ අමාරුවට ලියවුන කවි












මෙච්චර කල් නොලීවාට බ්ලොගී ගේ ඩයරියේ
අද ලියනවා කවි පද ටික ගලපල හදිස්සියේ‍

මෝඩයාගේ දවසේ මම බ්ලොග් ලිව්වට පස්සේ
නැත මේ අද වන තුරු මම මගේ ඩයරිය දැක්කේ

පැංචි ගිහින් උපාධි ගන්නට කොළොම්පුරේ
හැදිලා උණක් සතියක් හිටියලු GH හි ජපුරේ

සිතැඟිට පින් සිද්ද වෙන්න සැරිසැරුවට ජාලේ
නැහැ සතයක් වත් ගත්තේ හිත හොඳ කම ඔහුගේ

ලබන මාසේ අම්මා එනව මැද පෙරදිග සල්ලි අරන්
එතකොට ගන්නවා ජාලේ ගෙදරට මම සල්ලි බලෙන්

රන් යතුරේ ලොක්කන් අද රන් කූඩුවේ දමලා
රන් යතුරට වැඩ කල අපි මහ පාරට වැටිලා

ඉස්සර දුටු නිල් මොණරුන් නැහැ කලකින් දුටුවේ
එයින් දාපු සෙල්ලම් සිහිවි අද මට ඇඬුනේ

අනාගතේ දොරටු අරින රන් යතුරට බැඳුන දිනේ
දැකපු හීන තව දුරටත් නැහැ ඉතුරුව අපේ හිතේ

පියන් කොළුවා නැති දවසට තේ ටික හදලා දුන්නට
admin අක්කා නිවාඩු දා සේල්ස් පොතත් පිරෙව්වාට

අපේ අත්ත ගොඩ දාන්න ළමයි හොයලා ගෙනාවාට
ඉළ පතෙනුත් ගහලා මදි අපි වැඩි වැඩ පෙන්නුවාට

හිතට දුකයි, ඒ කියලා අඬන්න බෑ තවදුරටත්
කඩේ ගියා මදැයි ඉතින් අද වෙනකල් වසර තුනක්

වන්දිත් නෑ පඩියත් නෑ හුළං තමයි ඉතුරු උනේ
කොයි කාටත් පාඩම් වේවා මගේ මේ කතන්දරේ

ඔන්න ඕක තමයි උනේ බ්ලොගීට පහුගිය කාලේ
උයනවා කනවා ගෙවෙන්නේ ඔහොමයි දැන් මගේ කාලේ

එහෙනම් ඔය මදැ කිව්ව අදට ඇතිය මම ලිව්වා
තව දවසක එන්නම් එහෙනම් ඕං මම දිව්වා

Wednesday, April 1, 2009

බ්ලොගී මොඩිෆයි වෙලා(ද?)

බ්ලොගීට කාලෙක ඉඳන් ආසවක් තිබුනා අර ටෙලිවිෂන් එකේ පෙන්නන නිළි ඇන්ටිලා වගේ කොණ්ඩෙ දඟර කරගන්න. ඔය ආසාව ගැන බියුටි කචල් කරන නංගිට කිච්චම නංගි කිව්වා ඒකට කියන්නේ "ස්පා" කිරීමයි කියලා. ඉතිං එදා ඉඳලා මට තිබුනේ ඔය කියපු ඉස්පා පිස්සුව. රෑට හීනෙන් පෙනුනෙත් මං සැලුන් කඩෙ ගිහින් කොණ්ඩෙ දඟර කරගන්න හැටි. උදේට නැඟිටලා බ්ලොගී දුවන්නේ කණ්නාඩිය ගාවට වැරදිලා වත් හීනෙ ඇත්ත වෙලාද බලන්න. හැමදාම එකම විදිහට අස්ප වලිගේ වගේ කොණ්ඩෙ බැඳලා මට එපා වෙලයි හිටියේ.වෙන කිසිම විලාසිතාවක් දාන්න බැරි විදියේ අමුතු කොණ්ඩ පොඩ්ඩක් තමා මට තිබුනේ. ඉතිං මම බොහොම විපරමෙන් හිටියේ ඔය ඉස්පාව කරගන්නේ කොහොමද කියලා. අපේ පැංචි ඔය වැඩ වලට දස්සි. මම පැංචිගෙනුත් විපරම් කරලා බැලුවම ඔන්න මට හොඳ හෝඩුවාවක් ලැබුනා. ඉතිං මම ඉරිදා මගේ නිවාඩු දවසෙත් ලහි ලහියේ ඇඳ පැළඳ ගෙන තකහනියේ පැංචි හොයන් ගියේ ඔය වැඩේට තමා.
පැංචිගේ කඩු හරඹ පන්තිය ඉවර වෙච්චි ගමන් පැංචි මාවත් ඇදන් සැලුන් කඩ හොය හොයා පිටත් උනා. ඔහොම හොය හොයා ගිහින් අපි දෙන්නා ආවා එක තැනකට. හම්! පෙනුම නම් හොදයි. කොණ්ඩෙට කරන හැම දස වදයක්ම සැලුන් දොරේ ස්ටිකර් කොළ වලින් අලවලා තිබුනා. මාත් ඉතිං දොර ඇරගෙන ගියා. ඒක ඇතුලේ හිටියා ඇස් බැමි ගලෝපු බෙල්ලට වඩා මූණ සුදුම සුදු ලස්සන නාඹර ගැටිස්සියෝ දෙන්නෙක්ම. එක්කෙනෙක් දුවන් ආවා අපි ගාවට "ඇයි මිස්? එන්න මිස්. මොකද්ද මිස් කෙරෙන්න ඕන?. ෆා...හ්!. මාර සුහද පිළිගැනීමක්. ඊට පස්සේ අපි දන්න කියන වචන ඔක්කොම පාවිච්චි කරලා මට ඕන විලාසිතාව ගැන කිව්වා.දැන් අර ගැටිස්සි තොල හපාගෙන ඇස් උඩදාගෙන කල්පනා කරනවා. "මේ අපි කියපුවා හරි නේද?" . මම පැංචිට ලං වෙලා ඇහුනා. "හරි හරි ඉන්නකෝ මොනාද කියන්නේ බලමු" පැංචි කිව්වා. ඊට පස්සේ අර ගැටිස්සි ඇදලා පැදලා මෙහෙම කිව්වා. "ඒක නම් අපි කරන්නේ බඩු ඔක්කොම ගෙන්නලා තමයි. ඔයාලට පුළුවන් දවසක් කියන්න අපි බඩු ටික ගෙන්නලා තියන්නම්, එදාට ඔයාලා එන්න ". මගේ ඉහේ මල් පිපුනා. එතකොට ගාන කොහොමද මම ඇහුවා. ගැටිස්සි ආයෙත් ඇස් උඩ දාගෙන කල්පනා කරන්න ගත්තා. හම්! තුන්දාහක් විතර, අහලා තමයි කියන්න ඕන. කොණ්ඩේ බලලා තමයි ඉතිං ඒක තීරණය කරන්න ඕන.එයා කිව්වා. හා එහෙනම් ඔයා අහලා තියන්නකෝ අපි ආයෙත් එන්නම්. මායි පැංචියි එළියට බැස්සා.
ඒ වෙනකොට මට ගාන අහලා හීන් දාඩියකුත් දාලා තිබුනා. ස්පා කිරීමේ ආසාවත් නැති වෙලයි තිබුනේ. ඒ නිසා මම තීරණය කලා නිකම්ම කොණ්ඩෙ කපා ගන්න. අපි ගියා තවත් තැනතට. එතනට ගිහින් අපි විපරම් කලේ අළුත්ම කොණ්ඩා විලාසිතා ගැන. එතකොට කියපු එක විලාසිතාවකට මට හිතගියා. ඒ තමා කොණ්ඩෙ එකම ලෙවල් එකට නොතියා තට්ටු තට්ටු වෙන්න කපන එක. කියපු විදියට නම් ඒ විලාසිතාව මට ගැළපෙයි කියලා මට හිතුනා. ඉතිං මම ගිහින් අර දත් ගලවන පුටුවෙන් වාඩි උනා. බෙල්ල වටේට තුවායක් එතුනා. ඊට උඩින් තව ඉටි රෙද්දකුත් එතුනා. වයස අවුරුදු දහයෙදි සැලුන් එකකින් කොණ්ඩෙ කැපුවට පස්සේ අදමයි මේ කොණ්ඩෙ කපන්නේ සැලුන් එකකින්. හදුන් පොත කී ගාන සද්දෙත් ලාවට නිකං ඇහෙනවා ඇහෙනවා වගේ. ඔන්න දැන් බාබර් අයියා චුයින්ගම් එකක් හප හපා මගේ ඔළුවට වතුර විද්දා. තිබ්බ කතුරු ගොඩෙන් ලොකුම කතුර අරගෙන මගේ කොණ්ඩෙට අත තිබ්බ ගමන් මම වෙන දෙයක් වෙද්දෙන් කියලා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් සිහි කරගෙන ඇස් දෙක තද කරලා වහ ගත්තා. "තට්ටු කියක් ඕනද මිස්?" අයියා අහනවා. "කපන එකේ තට්ටු විසිපහක් වත් කපන්න" ඒ කිව්වේ මම. "හිකිස්" බාබර් අයියයි, එයාගේ සහායකට හිටපු ගෑණු දැරිවියි, පැත්තක වාඩි වෙලා හිටපු පැංවියි මං දිහා බලලා කිණ්ඩියට වගේ හිනා වෙනවා මම කණ්නාඩියෙන් දැක්කා. "එච්චර නම් බැරිවෙයි මිස්, ඔයාගේ කොණ්ඩෙ තරමට නම් තට්ටු හතරක් විතර තමා පුළුවන්" බාබර් අයියා කියපි. තේරෙනවනේ එහෙනම් මොන මඟුළකටද අහන්නේ මට කියන්න හිතුනට මම කිව්වේ නැහැ.
දැන් ඔන්න බරටම වැඩේ කෙරෙනවා. කපනවා පීරනවා වතුර ඉහිනවා ආයෙත් කපනවා වැඩ කෝටියයි. අන්තිමේදි හෙයා ඩ්‍රයර් එකක් අල්ලලා කොණ්ඩෙත් වේලලාම දුන්නා. තුවායත් අයින් කරනකල්ම ඉදලා මම හිමිට ඇස් දෙක ඇරියා. අප්පට සිරි. මට ගිය කලක්. එක පාරම මට මතක් උනේ හතර වසරෙද කොහෙද ඉංග්‍රීසි පාඩමකදි හදපු පුවක් මල් බොනික්කව. යස අගේට අස්ප වලිගෙ වගේ තිබ්බ මගේ අගේ ඇති කෙස් කළඹ මම වාඩි වෙලා හිටපු පුටුව ගාව පණ අදිනවා දැකලා ම‍ගේ පපුව හෝස් ගාලා ගියා. දැන් ඉතින් ගිය නුවණ ආයෙ මැමත් අලි දාහක් දාලාවත් අද්දව ගන්න බෑනෙ. ඒත් ඉතින් පොඩ්ඩක් කණ්නාඩිය ඉස්සරහ හැරි හැරි බලද්දි අවුලකුත් නැහැ වගේ. හැමදාම එකම පෙනුමෙන් ඉන්නවාට වඩා ටිකක් වෙනස් වෙන එකත් හොඳයි නොවැ. බාබර් අයියාගේ ගාන බැලන්ස් කරාට පස්සේ තට්ටු ගහපු කේස කලාපේ රැක බලාගන්න නොමිලේ උපදෙසුත් ලැබුනා. ඉතිං මම පැංචිත් ඉස්සර කරන් පාරට බැස්සා. පැංචිගෙත් ගෙදර යන වෙලාව හන්දා එයාටත් සමු දිලා මම මගේ අළුත් විලාසිතාව හැමෝටම පේන විදිහට ඔළුව ගස්සා ගස්සා බස් ස්ටෑන්ඩ් එකට ගෑටුවා.

Monday, March 30, 2009

බ්ලොගීගේ ආසාව



ඊයේ(ඔපිසියේ නිවාඩු) සුපුරුදු විදියටම පාන්දර 9.30 ඇහැරගත්ත බ්ලොගී පුංචි හදලා තිබුනු කොළ කැඳ මුට්ටියෙන් ජුන්ඩක් විතර කැඳ කෝප්පේ පිරෙන්න දාගෙන බිව්වා. ඊට පස්සේ සතියක් තිස්සේ බෝම මාන්සියෙන් හදා ගත්ත රෙදි කන්ද අරං ටැංකිය ගාවට ගිහින් රෙදි ටිකත් සෝදා ගෙන නා ගත්තා. හප්පා පළාතම සුවඳයි මං නෑවහම. ආසාවේ බෑ. "ඔන්න ලබන සතියෙත් මං තමයි ඉස්සෙල්ලාම නාන්නේ..?" නංගිත් එක්ක කොක්කක් දාගත්තේ නැත්නම් මට නිකං කහනවා කහනවා වගේ.
දවල්ටත් කෑවට පස්සේ අර ගෙදර ඉන්ඩ බැරි ලෙඩේ හින්දා මං කිට මරලා ටවුම පැත්තට යන්න බස් නැග්ගා.
ඉරිදට අපේ බොසුත් නිවාඩු හන්දා එදාට ඔපිසිය අපේ රාජ්ජෙ වගේ. ඉතිං නොගිහින් කෝමද? " ආ නැංගි!, මොකද මේ අවේලාවේ බදුලු යන්නේ?" ඒ අපේ කොන්දා අයියා. ඕන්නැති මගුලක් නෑ එයාටත්. "නෝටියා! ඔයාටත් ඕන්නැති මගුලක් නෑ". කියලා මට කියන්නත් හිතුනා ඉතිං. ඒත් හදිස්සියකදී බස් එකේ බෙල් එක ගහ ගන්නේ එයාට කියලානේ. මනුස්සයා තරහ කර ගන්න බැරි හන්දාම මං කට කොනකින් හිනාවක් දැම්මා.
ඔපිසියට ගිහින් බැලින්නං එක එකා වැටිච්චි වැටිච්චි තැන්වල. හනේ ඉතිං.
උඩ තට්ටුවට ගිහින් විපරම් කරලා බලද්දි අපේ පැංචි ළමා ළපටි ටිකකට කඩු හරඹ කියා දෙනවා. "ස් ස්". මාත් බොහොම විනීතව පැංචිට ඇමතුවා. "හා......යා දැන්ද ආවේ?" පැංච්ත් ඊට හපන්. කිංකිණි පරාදයි.
ඉතින් හරි හදිස්සියේ බ්ලොගී පැංචිව ගිහින් හමු උනේ ගිය අවුරුද්දේ ඉදන් බ්ලොගීගේ හිතේ තිබුන අදහසක් ක්‍රියාත්මක කරගන්න උපදෙසක් ගන්න.හැබැයි ඒ ගැන කියන්න නම් දැන් වෙලා නැහැ. බඩේ පනුවෝ පිනුං ගහන හන්දා.
මතු සම්බන්ධා.........යි.

Wednesday, March 11, 2009

අපේ නගා සහ බියුටි කචල්

අපේ අම්මාගේ උපදෙස් පරිදි නංගී දැනට මාස දෙකක විතර ඉදලා රූපලාවන්‍ය පන්තියකට යනවා සතියේ දවස් වල උදේ හවා.එදිනෙදා අළුතින් ඉගෙන ගන්න හැමදේම ගෙදර ඇවිත් ප්‍රායෝගිකව කරලා බලන එක නංගීගේ පුරුද්දක්. මුල්ම දවස් වල තිබුනේ කොණ්ඩා මෝස්තර දැමීම. කෝබ්‍රා , ඉන්දියන් බන්, රෝප්,ෆිෂ් ටේල් , ෆ්රෙන්ච් ප්ලේට් හෙවත් නයා, ඉන්දියාවේ බනිස්, ලණු, මාළු නැට්ට, ප්‍රංශ දීසි ඇතුළු තවත් නම නොදත් අනේක විධි කොණ්ඩා මෝස්තර රැසක අත් හදා බැලීම් වලට මගේ ඔළුව බිලි දෙන්න මට සිද්ද උනා.

ගිය සතියේ පාඩම උනේ ත්‍රෙඩින් හෙවත් නූල් කෑල්ලක ආධාරයෙන් අත්, කකුල් , ඇස් බැමි වල රෝම ඉගිල්ලීම. ඉතිං එදා රෑත් නංගි සුපුරැදු විදිහටම එයාගේ අඩුම කුඩුම ආම්පන්න ටිකත් එක්ක T.V බලන් හිටපු මට ළං වෙලා වාඩි උනා. මේ වෙද්දි නංගී එන්නේ මොකාටද කියලා මම දැනං හිටියේ නැහැ. හැබැයි එයා වෙනදා වගේ එයාගේ පනා කොණ්ඩ කටු සෙට් එක නම් ගෙනාවේ නැති බව නම් මට මීටර් උනා. ඒත් දෙවියනේ කව්ද හිතුවේ නංගි මට මේ වගේ ජඩ වැඩක් කරයි කියලා.‍


ඔන්න හොදම හරිය. නංගි බොහොම ආදරෙන් මගේ අත අරගෙන එයාගේ උකුල උඩින් තියා ගත්තේ මට කොමල හිනාවක් පාන ගමන්. මම හිතුවේ නම් අද පාඩම මසාජ් වෙන්න ඇතිය කියලා. කව්ද අකමැති මහන්සි වෙලා ගිය ගමන් අත පය ටිකක් මසාජ් කරගන්න. හැබැයි එවෙලේ මම දැනං හිටිය නම් නංගිගේ එදා පාඩම මොකද්ද කියලා මම කීයටවත් මගේ අත නම් දෙන්නේ නැහැ. නංගි නූල් කෑල්ලක් වගේ දෙයකුත් අතේ පටලවගන්නවනම් ඇස් කොනෙං වගේ මම දැක්කා.එක පාරම නංගි අර නූල් කෑල්ල මගේ අත දිගේ අඔරවගෙන ගියා. හපොයි දෙවියනේ ඒ වගේ දෙයක් නම් මගේ හතුරෙකුට වත් හීනෙකින් වත් සිද්ද වෙන්න එපා. අර නූල් කෑල්ල ගෑවිලා ගිය තැන ගිනි ගන්නවා වගෙත්, කන් දෙකෙන් දුම් පිටවෙනවා වගෙත්, ඔළුව වටේ තරු කැරකෙනවාත් මට දැනුනා. එවෙලෙ නම් මට හිතුනේ මම මේ විඳින්නේ අපායේ දැඩි දඬුවම් වලින් එකක්ය කියලා. අතේ තිබුන T.V Remote එකෙන් නංගි ගුටි නොකා බේරුනේ ඇස් වල කඳුළු පිරිලා ටික වෙලාවක් යන කල් මට වටපිටාව නොපෙනුන නිසා. හොර පූසි වගේ මේකා හදලා තියෙන්නේ මගේ අතේ පෙනෙන නොපෙනෙන ගානට තියෙන මයිල් ගස් ටික ගලවලා දාන්න. තව ඩිංගෙං මාත් ඔය විද්‍යාඥයන්ගේ අත්හදා බැලීම් වලට අහු වෙන චිම්පන්සියෙක් ගානට වැටෙනවා.

ඇයි වදේ අර යස අගේට මුළු ඇඟ පුරාම ලොම් තියෙන පූසෙකුයි බලු තඩියො දෙන්නෙකුයි ගෙදර ඉද්දි මාවම අල්ලගත්තනේ ඔය වැඩේට. ඒ උනත් ඔය දුකම විඳගෙන මුළු ඇඟම ත්‍රෙඩින් කරගෙන ලස්සන වෙන්න හදන අයත් ඉන්නවනේ. ඉදලා හිටලා ඇහි බැමක් එහෙම ෂේප් කර ගත්තට නම් කමක් නැහැ. හැබැයි ඉතිං ඔය කෙරුවාවෙන් ලස්සන වෙනවා නම් මට ලස්සන වෙන්න ඕනම නැහැ.

නංගී නාහෙන් අඬ අඬා එයාගේ අඩුම කුඩුම ටික ඔතාගෙන අපේ පුංචිව හොයා ගෙන යනවා මම දැක්කා. මම හරි කමක් නෑ, පුංචිගෙන් නම් හැඳි මිටෙන් පාරක් ෂුවර්. යසයි මට කරපු දේට. හිහ්.....!

Thursday, February 5, 2009

Home Alone


30 වෙනිදා -අද ගෙදර ඉන්නේ මායි නංගියි විතරයි.ආච්චියි පුංචයි දියතලාවෙ ගියා දානෙකට සහභාගි වෙන්න.හපොයි වැඩ ඇරිලා ගිහින් උයන්නවා කියන්නෙ මරණවා වගේ වැඩක්.මම තේ එක හදලා බත් එක ලිපේ තියන අතරේ නංගි පොල් සම්බෝලයක් හදලා පපබම් බැද්දා.ඔය තියෙන්නෙ රජ බොජුනක්.අපි දෙන්නට බත් මුට්ටියටම වග කියන්න ඒ හැටි වෙලාවක් ගියේ නෑ.


31 වෙනිදා -අදත් Home Alone තමා. උයන්න කම්මැලි හන්දා උළුදු ‍‍වඩේ ගත්තා.Bus stand එක ගාව රොෂාන් අයියගේ ව‍ඩේ කරත්තෙන් තමයි අපි වඩේ ගන්නේ.ඒ උළුදු ‍‍වඩේ උනාට අපි කියන්නේ ආතල් වඩේ කියලා.මොකද සාම්ප්‍රදායී උළුදු ‍‍වඩේ වෙනුවට මේ වඩේ එක දෙකට පලලා මැදට ළූණුයි, සම්බලයකුයි දානවා. මාරම රසයි. ගෙදර ගිහින් වඩේ එකට තේ එකක් හදා ගත්තම රෑ කෑම ෂේප්. බලන්න කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද කියලා.


01 වෙනිදා -අද මගේ day off එක. එදාටත් ගෙදර ඉන්න බැරි පොඩි ලෙඩක් තියෙන නිසා උදේම office යන්න පිටත් උනා.යන පාරේ තියෙන st.Marks church එකට අයිති building එකේ කවදාවත් ඉවර වෙන්නැති පොත් ප්‍රදර්ශනයක් තියෙනවා.ඒ නිසා ඒකට පොත් කඩේ කිව්වත් වැරදි නෑ.ගොඩ කාලෙකින් පොතක් කියෙව්වෙ නැති එන්දා මම පොත් කඩේට ගොඩ උනා. මල් පොත් ගොඩක් අතරින් හොඳ පොතන් හොයනවා කියන්නේ පිදුරැ ගොඩකින් ඉඳිකට්ටක් හොයනවා වගේ වැඩක්. දැක්ක ගමන් හිත ගියා ආරාමේ සීනු හඬට. අරන් ආවා.


02 වෙනිදා -හැමදාම ක‍ඩෙන් කාලා අතේ තියෙන තුට්ටු දෙකට තට්ටු කර ගන්න බැරි හන්දා අද උදේම නැඟිටලා ඉව්වා. හනේ...! මේ පුංචිලා කවදා එයිද දන්නෑ.


03 වෙනිදා -DICS එකේ පිරිමි ළමයි ටික අපේ staff එකේ ‍කට්ටියත් එක්ක හෙට Horton Plains යන්න සෙට් වෙලා. අපේ staff එකේ ගෑණු පරාණ හිඟ තාවය නිසා මට යන්න වෙන්නේ නෑ. මට නම් ඉරිසියාවේ බෑ.අනේ අපොයි මොකට කෙල්ලෙක් වෙලා ඉපදුනාද කියලා හිතෙනවා.Hero Honda Scooter ad එකේදි ප්‍රියංකා චෝප්රා අක්කා කියපු දේ මතක් වෙන‍වා මේ වෙලාවට. Why should boys have all the fun?????.


04 වෙනිදා -නිවාඩු දවස උපරිමයෙන් සමරන්න ඕන නිසා උපරිමයෙන් නිදා ගත්තා. නැගිටිද්දි පාන්දර 9.30යි.
ෂික් විතරක්! ගෑණු ළමයි හැදෙන ලස්සන. මම මටම බැන ගත්තා.ගොඩ ගැහිලා තියෙන ඇඳුම් ටික දැක්කම අයෙත් නිදා ගන්න හිතෙනවා.අවුරුද්දකට විනර පස්සේ මගේ ඔලුවට තෙල් ටිකක් වැටුනේ අද. කාලයත් එක්ක රේස් දුවද්දි අපිට අපිවත් අමතක වෙන එකත් පුදුමයක් නෙමෙයි.

Friday, January 23, 2009

කොරියාවට සිංහල

ඊයේ සුපුරුදු විදිහට ගෙදර ඇවිල්ලා මූණ කට සෝදා ගෙන නංගි හදලා දුන්න තේ එකත් අරං රෑප පෙට්ටිය ඉස්සරහින් වාඩි උනා.අපේ ගෙදර තියෙන්නෙ අර යෝදයා බත් කන පිඟාන වගේ ලොකු ඇන්ටනාවක්. මුලදි ඒකට ලංකාවෙ නාලිකා කීපයකුත් අහු උනා.හැබැයි දැන් ඒ මොකුත් නෑ. තේරෙන බාසාවේ එකකට දෙමළ නාලිකා කීපයකුත් නොතේරෙන බාසාවේ අපබ්‍රන්ස නාලිකා මහ ගොඩකුත් එක්ක කොරියාවෙ චැනල් එකකුත් අපිට දෙන්න අපේ ඇන්ටනාව සමත් වෙලා තියෙනවා.

ඉතිං ඔය කියන කොරියන් චැනල් එකේ රෑ 7.30ට යනවා ලස්සන drama එකක්.කොරියන් බාසාව නොතේරුනාට English Subtitles යන නිසා තේරුම් ගන්න එච්චරම අමාරු නැහැ.යන්තම් නිදි මතකුත් එන නිසා මං පුටු ඔළුව හේත්තු කරගෙන බාගෙට ඇස් පියාන කතාව දිහා බලං හිටියා. ඒක ටිකක් විතර සාම්ප්‍රදායි කතාවක්. දැන් කතාවෙ බොහොම ලස්සන හරියක්. දිග කිමෝනාවක් වගේ ඇඳුමක් ඇඳගත්ත ලස්සන කුමාරිකාවකුයි රැවුල දිගට වවලා කොණ්ඩෙ බැඳපු කුමාරයෙකුයි මේසයක් දෙපැත්තට වෙලා කතා කර කර ඉන්නවා.


"චැං චුං චැචොයි, ෂැං ෂුං ෂුපුස්" මට නොතේරෙන කොරියන් බාසාවෙන්. මේ අතර කුමාරිකාව මොනා හරි කියන්න කට ඇරියා. "අ ආ ඇ ඈ " , හෑ.............හ්..!මම දකින්නෙ හීනයක්ද? හොදට කොරියා කතා කර කර හිටපු කුමාරිකාවට මෙන්න සිංහල හෝඩිය කියවනවා . ඒ පාර කුමාරයා කතා කරන්න කට ඇරියා. " ඉ ඊ එ ඒ". හ......නී, මට පිස්සු හැදී ගෙන එනවද?. ඇයි බොලේ කොරියාවෙ අය සිංහල දන්නෙ කොහොමද? මේක වෙන්න පුළුවන් දෙයක්ද? මම උඩ ගිය පාර ඇස්බස්ටෝස් වහලේ වැදිලා ආයෙ පුටුවටම වැටුනා.පියවි සිහිය ඇවිත් වට පිට බලනකොට තමයි වැඩේ තේරැනේ.

පුංචිගේ බබාව පළවෙනි වසරට දැම්මේ මේ මාසේ . මේ එයාගේ පාඩම් කරන වෙලාව.පොර මම හිටපු පුටුවට පිටි පස්සේ තියෙන මේසෙ උඩට නැගලා හෝඩිය පාඩම් කරනවා. හපොයි! දැන් මුළු ගමම දන්නවා පුංචිගේ බබාට හෝඩිය පුළුයන්ය කියලා.ගම විතරක් නම් මදැයි කොරියාවත් ඒක දන්නවා. මමත් බලන් හිටියා දැන් ඉවරවෙයි, දැන් ඉවරවෙයි කියලා. මොන? මේ හෝඩිය කියවීම නම් අද ඉවර වෙන පාටක් නැති හැඩයි.පාඩම් කරන එකාට එපා කියන්නැයි. මමත් ඉතිං සිංහල හඬ කවන ලද කොරියන් drama එක ඉතා දුකසේ බලලා ඉවර කරා.බලමුකො පුතෝ, අපිත් ඉස්කෝලෙ යන්න ගත්ත අළුත ඔහොම තමා. පහු පහු වෙනකොට නොවැ රඟේ තේරෙන්නෙ.

ඉතිං ඔන්න ඔහොමයි, අපේ බබා කොරියාවට සිංහල හෝඩිය කියා දීමේ ගෞරවය හිමි කර ගත්තේ.....!


Monday, January 19, 2009

Busy බ්ලොගී

හප්පේ.....! බ්ලොග් එකක් පටන් ගන්නවා තරම් ලේසි නෑ අප්පා ඒකට ලියන්න ගියාම. සිරාවටම මට වෙලා නෑ, ඒත් ඉතිං මට කියලා මහා ලොකු වැඩකුත් නෑ. අර කතාවකුත් තියෙන්නෙ "බව්වට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ" කියලා. 12 වෙනිදා පටන් ගත්තා IPICT Class එක. උදේ 7.30 ඉදලා හවස 3.30 වෙනකල්ම Class එකේ ඉන්නෙ.
ඒ අතරම මගේ Class ටිකත් කරනවා. මාර්තු වෙනකල්ම ඔය සෙතේ තමයි.ගොඩක් වෙලාවලට මායි නදීශක්කයි බයිලා ගහන එක තමයි කරන්නෙ.
තාම බ්ලොගීගේ දිනපොත ස්ථාවරයකට ආවෙ නෑ.කාලෙකින් ෆලූඩා පාටියක් තිබුනෙත් නෑ.මොනා කරන්නත් අතේ සල්ලි තියෙන්න එපැයි.පඩි 25,එතකල් ඉවසන්න ඕන මොකටත්.

Friday, January 9, 2009

බ්ලොගීගේ පළමු සටහන

හා...........යි! හැ‍මෝටම කිරිපිටි, පොල් තෙල් , පෙට්‍රෝල් ඉතිරෙන පඩි වැඩි වෙන සුභ නව වසරක් වේවා. මගේ දෙවනි බ්ලොග් එක. නිකං දෙනවා කියලා මෙච්චර බ්ලොග් ලියන එකත් හොඳ නෑ තමයි. ඒත් ඉතිං කොම්පැණියෙන් වෙනදට නිකං දෙන ඩයරිය මේ පාර එන්නැති හැඩයි. ඒ හිංදා ඩයරිය වෙනුවට බ්ලොග් එකක්ම ලියමුයි කියලා හිතුනා.


පළවෙනිදා ගෙවිචිච හැටි ගැන ඕනවාටත් වඩා සිතුවිලි නිම්නයේ කියලා තියෙන නිසා ඒ ගැන වැඩි දුර කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.දෙවනිදාත් වැඩි විශේෂයක් නෑ.


තුන් වෙනිදා - වැඩ ඇරිලා ගෙදර යද්දි 7යි.නංගි ජම්බු කූඩයක් ලං කර‍ගෙන වැඩේ දෙනවා.අත හෝදන්නෙ නැතුව කෑම කන්න හොඳ නෑ කියලා දොස්තර මාමාලා කියලා තියෙන නිසා,මම නාලා කරලා ජම්බු කන්න ‍සෙට් උනා. හැ......හ්.කූඩෙ යටටම වෙන්න ජම්බු ගෙඩි දෙකක් විතර මං දිහා කින්ඩියට වාගේ බලං ඉන්නවා.නංගි ඉන්න විදිහ දැක්කම මට හිතා ගන්න පුළුවන්,අර යස අගේට තිබ්බ ජම්බු ටිකට මොකද උනේ කියලා.මාත් අතහැරියේ නෑ.රෑ කියලා බලන්නැතුව ජම්බු ගහට ටෝච් එක ගහගෙන ජම්බු කැඩුවා.ලුණුද, මිරිස්ද ,ගම්මිරිස්ද ‍මෙකී නොකී ඔක්කොම ජාති එක්ක පැයක් ඇතුළත ජම්බු කූඩෙ ඉවර කරන්න මටත් බැරි උනේ නෑ."හහ්.... නංගි මං ඔයාගේ අක්කා, හරිද?" ඔන්න ඔහොම නංගිටත් සද්දයක් දාලා මං කුස්සිය පැත්තට ගෑටුවා.රෑ කෑම කන්නත් එපැයි.


හතරවෙනිදා - එදා මං හිටියේ ඌව වෙල්ලස්ස කැම්පස් එකේ Class එකේ.ටික වෙලාවක් යද්දි මට නිකං තේරැනා බඩ ඇතුළේ සුනාමියක් වගේ පෙරළියක්.රෑ කාපු ජම්බු ටිකේ ර‍ඟේ තමයි.සර් බරටම උගන්නනවා. අවසර ගන්න ගියොත් වැඩේ චාටර් වෙන හින්දා හොරෙන්ම Lab එකෙන් එළියට ආවා.


පහ /හය - දවස් දෙකේම හවස බස් එක පරක්කු උනා.ගෙදර යනකොට රෑ 8ත් පහුවෙලා.අනේ මංදා මගේ ද‍වසේ බාගයක්ම පාරටම ඉවරයි.ණය වෙලා හරි ස්කූටර් කට්ටක් ගන්න හිතෙන්නෙ ඔය වෙලාවට තමයි.නදීෂා අක්කා ගානේ අද අපිට ෆලූඩා.නිකං හම්බෙන‍වානම් මොනා උනත් මොකද.


ඊයේ - පෙරේදා හ‍‍වස වැහැපු හන්දා මගේ sweater එක අරං ආවා.මොන වැස්සක්ද උදේ ඉදං පට්‍ට අව්ව.හ‍‍වස යනකොටත් අව්ව.ඉහි..ඉහි මට මයි වෙන්නෙ.

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails