ඊයේ සුපුරුදු විදිහට ගෙදර ඇවිල්ලා මූණ කට සෝදා ගෙන නංගි හදලා දුන්න තේ එකත් අරං රෑප පෙට්ටිය ඉස්සරහින් වාඩි උනා.අපේ ගෙදර තියෙන්නෙ අර යෝදයා බත් කන පිඟාන වගේ ලොකු ඇන්ටනාවක්. මුලදි ඒකට ලංකාවෙ නාලිකා කීපයකුත් අහු උනා.හැබැයි දැන් ඒ මොකුත් නෑ. තේරෙන බාසාවේ එකකට දෙමළ නාලිකා කීපයකුත් නොතේරෙන බාසාවේ අපබ්‍රන්ස නාලිකා මහ ගොඩකුත් එක්ක කොරියාවෙ චැනල් එකකුත් අපිට දෙන්න අපේ ඇන්ටනාව සමත් වෙලා තියෙනවා.
ඉතිං ඔය කියන කොරියන් චැනල් එකේ රෑ 7.30ට යනවා ලස්සන drama එකක්.කොරියන් බාසාව නොතේරුනාට English Subtitles යන නිසා තේරුම් ගන්න එච්චරම අමාරු නැහැ.යන්තම් නිදි මතකුත් එන නිසා මං පුටු ඔළුව හේත්තු කරගෙන බාගෙට ඇස් පියාන කතාව දිහා බලං හිටියා. ඒක ටිකක් විතර සාම්ප්‍රදායි කතාවක්. දැන් කතාවෙ බොහොම ලස්සන හරියක්. දිග කිමෝනාවක් වගේ ඇඳුමක් ඇඳගත්ත ලස්සන කුමාරිකාවකුයි රැවුල දිගට වවලා කොණ්ඩෙ බැඳපු කුමාරයෙකුයි මේසයක් දෙපැත්තට වෙලා කතා කර කර ඉන්නවා.
"චැං චුං චැචොයි, ෂැං ෂුං ෂුපුස්" මට නොතේරෙන කොරියන් බාසාවෙන්. මේ අතර කුමාරිකාව මොනා හරි කියන්න කට ඇරියා. "අ ආ ඇ ඈ " , හෑ.............හ්..!මම දකින්නෙ හීනයක්ද? හොදට කොරියා කතා කර කර හිටපු කුමාරිකාවට මෙන්න සිංහල හෝඩිය කියවනවා . ඒ පාර කුමාරයා කතා කරන්න කට ඇරියා. " ඉ ඊ එ ඒ". හ......නී, මට පිස්සු හැදී ගෙන එනවද?. ඇයි බොලේ කොරියාවෙ අය සිංහල දන්නෙ කොහොමද? මේක වෙන්න පුළුවන් දෙයක්ද? මම උඩ ගිය පාර ඇස්බස්ටෝස් වහලේ වැදිලා ආයෙ පුටුවටම වැටුනා.පියවි සිහිය ඇවිත් වට පිට බලනකොට තමයි වැඩේ තේරැනේ.
පුංචිගේ බබාව පළවෙනි වසරට දැම්මේ මේ මාසේ . මේ එයාගේ පාඩම් කරන වෙලාව.පොර මම හිටපු පුටුවට පිටි පස්සේ තියෙන මේසෙ උඩට නැගලා හෝඩිය පාඩම් කරනවා. හපොයි! දැන් මුළු ගමම දන්නවා පුංචිගේ බබාට හෝඩිය පුළුයන්ය කියලා.ගම විතරක් නම් මදැයි කොරියාවත් ඒක දන්නවා. මමත් බලන් හිටියා දැන් ඉවරවෙයි, දැන් ඉවරවෙයි කියලා. මොන? මේ හෝඩිය කියවීම නම් අද ඉවර වෙන පාටක් නැති හැඩයි.පාඩම් කරන එකාට එපා කියන්නැයි. මමත් ඉතිං සිංහල හඬ කවන ලද කොරියන් drama එක ඉතා දුකසේ බලලා ඉවර කරා.බලමුකො පුතෝ, අපිත් ඉස්කෝලෙ යන්න ගත්ත අළුත ඔහොම තමා. පහු පහු වෙනකොට නොවැ රඟේ තේරෙන්නෙ.
ඉතිං ඔන්න ඔහොමයි, අපේ බබා කොරියාවට සිංහල හෝඩිය කියා දීමේ ගෞරවය හිමි කර ගත්තේ.....!