Showing posts with label බ්ලොගීස් ඇඩ්වෙන්චර්. Show all posts
Showing posts with label බ්ලොගීස් ඇඩ්වෙන්චර්. Show all posts

Monday, January 10, 2011

බ්ලොගී දුටු වෙඩිම හෙවත් පැංචිගේ මඟුල සහ තවත් කතා…….!

ජනවාරි 1 – තවත් එක අවුරුද්දක්! ඉස්සර කොම්පැණියෙ නම් පළවෙණිදට නිවාඩු. ඒත් දැන් ඔපිසියේ ඒවා බෑ. ඒ හන්දාම උදේ පාන්දර 7.30ට නැඟිටලා බැරි මරගාතේ වැඩට යන්න ලෑස්ති උනා. මොන කරුමකට නිදි මැරුවද කියලා හිතුනා කලින් දවසේ රෑ. යන්තම් 12 වෙනකල් ඉඳලා පැත්තක නිදාගෙන හිටිය අම්මට සුභ අලුත් අවුරුද්දක් කියලා හාද්දක් දුන්නම අම්මා චටස් ගාලා මගේ කම්මුලට තැලුවේ මදුරුවෙක් කනට කොඳුරනව කියලා හිතලද කොහෙද. අවුරුද්දම සුභයි. හෙට උදේම මට කොස්සෙන් තලා ගන්න ඕන කියලා හිතාගෙන මාත් අනික් අතට හැරිලා නිදා ගත්තා.


ජනවාරි 2 – මේ අවුරුද්දේ ඉඳන් අනුගමනය කල යුතු හොඳ පුරුදු කියලා මම හදා ගත්තු ලැයිස්තුව නැති වෙලා. අනේ වාසනාවන්. කාටද පුළුවන් උදේම නැඟිටලා යෝගා කරලා රෑට දත් මැදලා නිදා ගන්න. ඔන්න ඔහේ මේ අවුරුද්දත් පරණ විදියටම ඉඳලා දානවා..


ජනවාරි 3 – සුපුරුදු ලෙස වැඩට යනකොට විනාඩි 15ක් පරක්කුයි.. ඇති යන්තම් මම පරණ විදියටම හුරු වෙනවා ටිකෙන් ටික.


ජනවාරි 4 – වැස්ස වැස්ස වැස්ස. උදේ නැඟිටින කොටත් වැඩට යද්දිත් වැඩඇරිලා ගෙද එද්දිත් රෑට නිදාගනිද්දිත් වැස්ස. පොඩි කාලෙනම් පරිසර පාඩමට අපට කියලා දුන්නේ ගස් කැපුවම වැස්ස නැති වෙලා නියඟ ඇති වෙනවා කියලා. මොන මෝඩ කතාවක්ද? බලන් ඉද්දි මිනිස්සු ගස් කපලා පොලව සමතලා කරනවා දවසින් දවස. මේ වහින්නේ යස අගේට. අනේ මන්දා දැන්වත් මේ විෂය නිර්දේශ මාරු කරා නම් හොඳයි.

ජනවාරි 5 – හෙට පැංචිගේ මඟුලෙ යන්නත් ඕනා. මඟුලකට යනවා කියන්නෙත් දැන් කාලේ මඟුලක් කරනවා තරම්ම බැරෑරුම් වැඩක්. ඇඳුම් කැඩුම් සෙරෙප්පු බෙරෙප්පු අතපයට කනකර තෑගිබෝග යානවාහන කොච්චර වියහියදම්ද අප්පා..
හැබැයි ඔය බරෙන් බාගයක් නිදහස් කරන්න පුළුවන් ක්‍රමයකුත් මං හොයා ගත්තා.
ඕං බලන්න කෝ..
ඇඳුම් කැඩුම් සෙරෙප්පු බෙරෙප්පු අතපයට කනකර තෑගිබෝග යානවාහන කොච්චර වියහියදම්ද ? ඔය බලන්නකො ඉතින්. කොච්චර දේවල් අඩුකරගත්තද මම! හරිම සිම්පල් ප්ලෑනක්!!


ජනවාරි 6 – යංතම් දවස් ගානක් තිස්සේ ඉඳලා ලෑස්ති වෙච්චි දවස උදා උනා.  මහා පාන්දර 9ට මායි ඔපිසියේ තව මිතුරියකුත් එක්ක බදුළු පුරවරේට ගියා. බියුටි කචල් ඇන්ටි කෙනෙක් ගාවට ගිහින් ඇස්බැමි උගුල්ල ගත්තා ජීවිතේ පලවෙනි වතාවට.  බ්ලොගීගේ උගුල්ලපු නැති තඩි ඇස්බැමි නිසා බ්ලොගීට පැංචි නමකුත් දාලා තිබුනා grizzly bear කියලා. ඉතින් පැංචිගේ මඟුල අස්සේ දෙනෝ දාහක් ඉස්සරහ පැංචි බ්ලොගීට ඔය නමෙන් කතා කරොත්වත් කියලා තමා බ්ලොගී බියුටි කචල් ඇන්ටිඅක්ක කෙනෙක් ගාවට ගියේ. ඇන්ටිඅක්කත් නූල් කෑල්ලක් ඇහි බැමේ අඹරවලා වැඩේ කරන්න පටන් ගත්තා. බුජු හප්පේ… ඒ වගේ වේදනාවක් නම් මේ ලෝකෙ සත්වයෙක්ට එන්න එපා කියලා බ්ලොගී හිත යටින් ප්‍රාර්ථනා කරන ගමන් දත් මිටි කාගෙන බියුටි ඇන්ටිට ඇස්බැමි උගුල්ලන්ට ඉඩ ඇරියා..  දැන් බ්ලොගීගේ ඇස් වලින් දිගට හරහට කඳුළු බේරෙනවා. කඳුළු බේරෙද්දි ඒ වැඩේ කරන්න අපහසු නිසා බ්ලොගී ඇන්ටි අක්කගෙන් ටිෂු කෑල්ලක් ඉල්ලුවා. කඳුළු පිහදාන්නවත් වෙලාවක් නැති නිසා වේදනාව ඉවසගන්න බැරිව බ්ලොගී ටිෂු කෑල්ල ගුලිකරලා හපාගත්තා. මහ අජූත සුවඳක් එක්ක ලුණු මිශ්‍ර කුප්පමේනියා රසක් ඒ ටිෂු කෑල්ලෙන් බ්ලොගීට දැනුනා. හර්බල් ටිෂු එකක් වෙන්ට ඇති. ඇස් අරින්න බැරි හන්දා බ්ලොගී හිතුවා. ඇස් ඇරලා බලද්දි බ්ලොගිත් දේදුනු වන් ඇස් බැමි යුවලක හිමිකාරියක් වෙලා. වින්ද වේදනාව කොහෙන් ගියාද දන්නෑ. බ්ලොගී ඇස් බැමි නටවලා කණ්නාඩියෙන් බලන් ඉඳ්දි ඇන්ටි අක්කා කියපි “නංගි මගේ ලේන්සුව දෙනවද” කියලා. හත්වලාමයි! බ්ලොගී මෙච්චර වෙලා හපාගෙන ඉඳලා තියෙන්නේ ඇන්ටි අක්කගේ හොටු ලේන්සුව.

හදිසියේ ඇති වෙච්ච ඔක්කාර තත්වයට කට අතින් වහගෙන බාත්රෑම් එකට දුවද්දි
“ආනේ සුභ ආරංචියක් වත්ද?”  ඇන්ටි අක්ක මගේ යාළුවාගෙන් අහපි..
ජනවාරි 07 – ඊයේ මුළු දවසම පැංචි‍ගේ මංගල්ලෙටම හරි. ගොඩාක් කට්ටිය හිටියත් දැක ප්‍රිය උපදවන්න පුළුවන් ජාතියේ කවුරුත් නොහිටි එකයි මටයි මගේ යාළුවටයි තිබුන දුක. කාලෙකින් පරණ කොම්පැණියේ යාළුවෝ ටිකත් එක්ක විනෝදෙන් හිටියා. ඒ අස්සේ පැංචිගෙත් මගෙත් හොඳම යාළුවෙකුත් හිටියා. ඉතින් කෑම වෙලාව ලං වෙලා ඒ අක්කා මාවත් ඇදගෙන බුෆේ මේසේ ගාවට දිව්වා.
අනේ මාත් එක්ක මේ කේක් ටික බෙදපං නංගි
අනේ ඉතින් ඒ ඉල්ලීම අහක දාන්න බැරි හන්දා මාත් බත් බෙදාගෙන එන ඈයන්ට පනාව දාගෙන කේක් බෙදුවා. මිනිස්සු උඩින් කොයි විදියට හිටියත් එයාලගේ ඇතුලාන්තය කොයි වගේද කියලා දැන ගන්න තිබුන හොඳ විදියක් තමා කෑම මේසෙ. පිළිවෙලට කෑම ටික බෙදාගෙන එන පෝළිම ඉවර වෙන්නේ කේක් බෙදන තැනින්. එතනම තියෙනවා පපඩම් දීසිය. දන්නවනේ ඉතින් මඟුල් ගෙවල් වල පපඩම්. හෙන ලොකුයිනේ ඉතින්. පපඩම් පිගානෙටත් කවුද තේ හැන්දක් තියලා. අනේ අර පෝලිමේ එන එක එක්කෙනා අර තේ හැන්දෙන් පපඩම් බෙදාගන්න කරන උත්සහය දැකලා බ්ලොගීට හතර හිනා. සමහරු නම් ඉතින් මොලේ ඇතිව පපඩම අතෙන් බෙදාගෙන ගියා. පපඩම තේ හැන්දට අලයින් කරගෙන පිඟානට ගේන ටිකට හුළගක් ඇවිත් පපඩම පිඟානට වැටෙනවා. හහ්! ඒත් සුද්දා කියලා තියෙන්නේ ට්‍රයි ඇන්ඩ් ට්‍රයි කියලලුනේ…



ජනවාරි 08 – අද බ්ලොගීගේ නිවාඩුව… ලියන්ට ඇත්තේ එකම දෙයයි..
නින්ද තරම් මිනිසා සුවපත් කරන දෙයක් මෙලොවෙහි තවත් ඇත්ද?

Friday, July 30, 2010

බ්ලොගී ඇන්ඩ් ද පැරට් මැන්ගෝ…! පාර්ට් වන්!

http://www.kickprogram.com/images/sub_colorplate.png

මේ ලියන්නේ මාසෙකට එක පිටුවක් ලියනවාය කියන චෝදනාවෙන් ගැලවෙන්න.. හැබැයි අද ලියන්න යන්නෙත් කලින් පාර වගේම ෆ්ලෑෂ් බැක් ස්ටෝරි එකක්..!

 

මේ සිද්ධිය උනේ බ්ලොගීයගේ පාසල් කාලේ….

ඒ කාලේ බ්ලොගී බදුල්ලේ තිබුන එක්තරා බාලිකා විද්‍යාලයක 7 වසරේ ඉගෙනුම ලබන චූටි පඟර නැට්ටියක්.. දන්නවනේ ළමා කාලයෙයි ටීන් ඒජ් එකෙයි අතර මැද කාලෙ ගෙවෙන ඔය කාලෙට කාගෙ කාගෙත් නැටිලි දැඟලිලි එමටයි නේ.. බ්ලොගියට හිටිය බ්ලොගි ජාතියේ අච්චුවෙන්ම හදපු යෙහෙළියෝ කීප දෙනෙක්.. ඉතිං මේ පඟර නැට්ටියෝ ටික සෙට් උනොත් කොල්ලෝ පරාදයි. කොල්ලෝ නැති ඉස්කෝලේ ඒ අඩුව පුරවන්න ආපේ පන්තියේ කොල්ලෝ උනේ අපි තමා ඉතින්..

 

හරි අපි කතාවට බහිමු කෝ.. ඒ අඹ වාරේ! කොහු අඹද, මී අඹද, ගිරා අඹද ඕනැ අඹ ජාතියක් තියෙනවා ඒ කාලෙට.. දන්නවනේ කෙල්ලො ඔය ඇඹුල් ජාති එක්ක තරහයි කියලා. අනිත් එක අමු කොස් ඇටයක් හම්බ උනත් කන ජාතියේ අමුතු බඩජාරිකමක් නේ තියෙන්නේ ඉස්කෝලේ ඉන්න කොට.. ඉතින් බ්ලොගියගේ පන්තියේ මොන මොන ජාතියේ ඩයල් හිටියත් කෑම කියන විෂයෙදි නම් ඔක්කොමලා එක ජාතියේ තමා.. ඒ වගේම තමා කන වෙලාවට එකමුතු කමත්. වෙරළු ගෙඩියක් කෑවත් පන්තියේ හිටපු තිස්දෙනාම බෙදාගෙන කෑවා.. නිකන් හරි එකෙක්ට බඩජාරි කම වැඩි වෙලා වෙරළු ගෙඩියෙන් ලොකු කෑල්ලක් හපා ගත්තොතින් ඒකගේ බොටුවෙන් හිර කරලා බාගෙට උඟුර මැද්දට ගිය වෙරළු කෑල්ල වමාරවලා අරගෙන ආයේ හෝදල බෙදාගෙන කන්න තරම් දරුණුයි අපේ එකමුතු කම.

 

ඕං ඉතිං එහෙව් වූ බ්ලොගී ගැන්සියේ ක්‍රියා කාරි සාමාජිකාවක් හිටියා දිනූෂා කියලා. බ්ලොගිගේ මැන්ගෝ ෆ්රෙන්ඩ් වෙන මෙයා දවසක් පැරට් මැංගෝ එකක් ගෙනාව පන්තියට. තේරුන්නෑ.?? ගිරා අඹ! ගිරා අඹ! ආං ඒ අඹ ගෙඩියක් ගෙනාවා. මේ අඹ ජාතිය කාපු අය දන්නවා ඇති රස. අමුවෙන් උනත් කන්න පුළුවන් අමුතු රසක් තමා තියෙන්නේ. මේ ගෙනාපු අඹ ගෙඩිය බාගෙට ඉඳිලා. සුව‍‍ඳේ බෑ මුළු පන්තියම.

ඔන්න ඉතින් එක පීරියඩ් එකක් ඉවර වෙලා කට්ටියම සෙට් උනා දිනූෂා වටේට.

ඊළඟ පීරියඩ් එකේ තිබුනේ අපි නොදන්න ඉංගිරීසි. ඉංගිරීසි ටීචර් හරි සැරයි. ඉස්කෝලේ විනය ගැන අපේ විදුහල්පතිනියට වඩා කැක්කුමක් මෙතුමියට තිබුනා..

විනය නීති කඩ කොරලා මේ ටීචර්ට අහුවෙනවට වඩා ගඟක මුදක පැනලා පන නහ ගන්නවා හොඳයි.

ඉතිං එතුමියගේ සංක්‍රමණය වෙන්න කලින් අඹ ගෙඩියේ පොත්තකට හරි වගකියන්න තමා කට්ටියගෙම ප්ලෑන් එක. ඒවා කොහෙද මාත් එක්ක කියලා බෙල් එක ගහන කොටම ඉංගිරීස් ගුරුවරි පන්තියේ.. දැන් ඉතින් මක් කොරන්නද? කට්ටියම විසිරිලා තම තමන්ගේ තැන් වලට ගියා.

ටීචර් පාඩම පටන් ගන්න අතරේ අපේ කෙල්ලො ඇස් වලින් කතාව.. සමහරු රවනවා. සමහරු ඇස් බැමි උඩ දානවා ඇද කරනවා.. සමහරු පාඩමේ ඉන්නවා කියලා පෙන්නන් අසාර්ථක උත්සහයන් වල යෙදෙනවා.. හරියටම බැලුවොත් හැමෝම දිනූෂා‍ගේ බෑග් එකේ ඉන්න ගිරා අඹේ ගාව. දැන් ඇස් වලින් හුවමාරු උන සංඥා වලට අනුව වැඩේ වෙන හැටි මෙහෙමයි. පන්තියේ මැද පේළියේ ඉන්න දිනූෂා අඹ ගෙඩිය අරන් අතින් අතට යවන්න ඕන ඉස්සැරහම පේළියේ එක්කෙනාට. එයා කෑල්ලක් කඩාගෙන අනිත් කෙනාට දෙන්න ඕන. එයා කාලා අනිකාට. ඔහොම පිලිවෙලින් පන්තිමේ අන්තිම පේළිය දක්වා අඹ ගෙඩිය ගමන් කරනවා.. හරි, ඔන්න ඇස් ටෝර්ක් වලට අනුව අඹ ගෙඩිය බෑග් එකෙන් එළයට අරන් පළවෙනි රෝ එකේ පළවෙනියා ගාවට ගියා.. එයා අර බාගෙට ඉඳුන අඹ ගෙඩිය අරගෙන පොතෙන් මුළු මූණම වසන් කරගෙන අඹ ගෙඩිය කටට අරගෙන කෑල්ලක් හැපුවා

 

“කරස්” 

 

ඒත් එක්කම පන්තියේ හැම පේළියෙන්ම තවත් සද්දයක් ඇහෙනවා.. “ගුඩුක්”

 

‍කෙළ ගිලින සද්දේ.. සමහරු අඹ ගෙඩියේ රස දැනිලා වගේ තලු මරනවා.. සමහරු දිවෙන් තොල් තෙමනවා.. දැන්නම් මුළු පන්තියම නොසන්සුන් වෙලා.

දැන් ඉතින් මේ අතර පාඩමත් ගජරාමෙට යනවා කියමුකෝ..එකෙක් වත් පාඩමේ නෑ.හැමොගෙම ඇස් රැඳිලා තියෙන්නේ අර පේළියෙන් පේළියට අතින් අත මාරු වෙන අඹ ගෙඩිය ගාව.. දැන් හිමින් හිමින් අඹ ගෙඩිය බ්ලොගී ගාවටත් ආවාය කියමුකෝ. බ්ලොගී අඹ ගෙඩිය අරන් පියනක් වගේ උඩට අරන්න පුළුවන් ඩෙස්ක් එක ඇරලා ඒ ඇතුළට දැම්මා.. බ්ලොගියට අල්ලපු වැටේ හිටපු එකා සහ අඹ ලෙඩියට කට නොගැසු ඉතුරු පිරිවර බ්ලොගියට අම්බානෙකට රවනවා.. එයාලා‍ගේ ටර්න් එක පරක්කු කරනවාට.

දැන් ටීචර් වාඩිවෙලා කට්ටියගෙම හෝම් වර්ක් බල බලා කරෙක්ෂන්ස් කරනවා.. වැඩි කලබලටක් නැති හැඩයි..බ්ලොගී ඩෙස් එක ඇරලා ගත්තා අඹ ගෙඩිය හෙමිහිට. වහ ගත්තා මූණ පොතෙන්. හිමින් සීරුවේ අඹ ගෙඩිය කට ගාවට ඇරලා පුළුවන් තරම් ලොකුවට කට ඇරලා කෑල්ලක් කඩා ගන්…න ….වා …..!

 

 

ක…. ර ……      බ්ලොගී!!!!  ස්

 

 

 

එනවා ඔය අඹ ගෙඩියත් අරන් ඉස්සැරහට!!!

 

හුටස්!! ටීචර්ට වැඩේ මාට්ටු..! :-(

Sunday, June 13, 2010

නිකොබාර් භූමි කම්පාව හා බ්ලොගී !

ගෙදරට අන්තර්ජාලේ ගත්ත දා ඉඳලා බ්ලොගී නිදියන්නේ මහ රෑ 12ට හෝ පාන්දර ජාමෙට.... උදේ 7.15විතර වෙනකල් හොඳට නිදාගෙන පරක්කු වෙලා වැඩට දුවන එක දැන් බ්ලොගීගේ පුරුද්දක්.... මේ අද පාන්දර වෙච්චි හුට පටයක්...!
බ්ලොගීට කලින් බ්ලොගීගේ නගා ජාලේ අත්පත් කර ගත්ත හන්දා බ්ලොගියට සිද්ධ උනා දත කට වහගෙන නිදා ගන්න.... ඒත් ඉතිං නංගි කී බෝර්ඩ් එකට තඩිබාන සද්දෙටයි පරණ කොම්පූටරේ හෝ ගාන සද්දෙටයි...... තව පැයකටවත් නින්ද යනවනම් බොරු...! 
දැන් ඔයාලා බලයි ඇයි අපේ නගා කී බෝර්ඩ් එකට තඩිබාන්නේ කියලා.. ඒක නම් වෙන බ්ලොගක් ලියන්නම වටින සිද්ධිය..! මගේ පරණ කොම්පූටරේ වර්තමාන හිමි කරු තමා නංගි... මුලදි බ්ලොගියගේ ලැප්ටොප් එකට නංගිගෙන් විසුමක් නැති හින්දා බ්ලොගිය පරණ කොම්පූටර් මරදානේ නංගිගේ කරේ ගැහුව... ඒක බාරදෙද්දි නංගිට පොඩි ඇඩ් එකකුත් දැම්මා


" නංගි, මේ අද මම ඔයාට භාර දෙන්නේ මගේ පණ! මගේ ඇස් දෙක!"
(යටි හිතෙන් - "හප්පා මළ මඟුලෙන් මං නිදහස්! )

"මේ අවුරුදු හතරට මේ කොම්පූටරේ මට කිසි වදයක් දුන්නෑ!"
(යටි හිතෙන් - "අනේ මගේ කට! උඹ මට දුන්න තරම් වදයක් මගේ හතුරෙක් වත් මට දීලා නැතුව ඇති"!)

"මේක මම බලාගත්තේ මගේ ඇස් දෙක වගේ!"
(කවුරු හරි තමංගේ ඇස් දෙක ඇස් කුහර වලින් උගුලලා එළියට අරන් සපත්තු පොළිෂ් කරන බ්‍රෂ් එකෙන් පොලිෂ් කරලා තියෙනවද? හික්)

"ඉතිං ඔයත් ඒවගේම මේක බලාගනී කියලා මම හිතනවා!"
(නංගි මට නියවනවා! මං කොම්පූටරේ බලා ගත්ත හැටි එයා නොදන්වැයි!)

හහ්! නංගි ගස්සගෙන ගියා...! 

"ආයේ ලැප්ටොප් එක එහෙම අතපත ගානව එහෙම නෙමෙයි"  නංගි ටිකක් එහාට යන කල් ඉඳලා මම ඇහෙන නෑහෙන තරමට පොඩි ගර්ජනාවකුත් දැම්මා...! වැඩිය සද්ද දාන්නත් බෑ.. හෙට ඉඳං උයන එකවත් වර්ජනය කරොත් මං ඉවරයි...!

පරණ  කොම්පූටරේ මීයාගේ ලෙෆ්ට් බට්න් එක වැඩ කරන්නෑ. ඉතිං පැත්ත මාරු කරලා තමයි පාවිච්චි කරන්නේ...!රයිට් ක්ලික් ඕන නම් කීබෝඩ් එකේ පිහිට තමයි...! කීබෝඩ් එක ඊට හපන් !කී එකකින් ටයිප් වෙන්න ඒ කී එක උඩ හිට ගන්න තමා වෙන්නේ...!ඉතිං ඕක තමා නංගි කී බෝඩ් එකට තඩි බෑමේ රහස...!

ඕං ඉතින් පීලි පැන්නා ... කියන්න ආවේ මේ කතාව නෙමෙයි නේ...! 

ඉතිං ඔන්න බ්ලොගී මර නින්දට පාත්‍ර උනාය කියමුකෝ....! මෙන්න බොලේ නංගියි අයියයි බෙරිහන් දෙනවා මොනාද කිය කියා...! අර 20 20 මැච් වල චාමර කපුගෙදර අන්තිම බෝලෙට හයේ පාරක් ගහලා නූලෙන් පරදින්න හිටපු ලංකාව බේර ගත්ත වෙලාවෙත් නංගි බෙරිහන් දුන්නේ ඒ වගේ...!

"මොනාද මනුස්සයෝ... මිනිහෙකුට නිදහසේ නිදාගන්න දෙනවකෝ! කෑගහන්නේ! ඔයාලට නම් මොකද මම එපැයි උදේම නැඟිටලා වැඩට යන්න".. මාත් ඊට හයියෙන් බෙරිහන් දුන්නා...! 

ඒත් මේ දෙන්නා නෙමේ නතර කරන්නේ විලාපේ...! මං කොට්ටේ අරං කන් දෙක වැහෙන්න ඔළුවට තියලා තද කර ගත්තා...! 

මෙන්න බොලේ ඒ පාර නංගි ඇවිත් ඇඳ විට්ටමෙන්ද කොහෙද ඇදලා ඇඳ හොල්ලනවා..දඩ බඩ දඩ බඩ ගාලා...!  හප්පට සිරි.. මේ හාල්මැස්සිට කොහෙන්ද මෙච්චර පවර් එකක්! "දෙන්නම් ජම්බෝ....අද  උඹ ඉවරයි නංගී බබෝ" කියලා කොට්ටෙත් උස්සගෙන  බ්ලොගී ඔළුව උස්සලා බැලුවේ නංගිට pillow punch එකක් දෙන්න...
හෑහ් කෝ බොල නංගි.. නංගි නෑ ඇඳ ඉබේම හෙලවෙනවා...
බුදු අම්මෝ ‍......හ්...!  හොල්මන්! හොල්මන්! ඇඳ ඉබේම හෙලවෙනෝ....! 

බ්ලොගීට හීන් දාඩිය දැම්මා...! බ්ලොගී කොට්ටේ කොනක් හපා ගත්තේ මේ මොන විජ්ජුම්බරයක්ද කියලා හිතා ගන්න බැරුව...!
මොහොතකින් සියලු දේ නිසල උනා...! කෝ මේ දෙන්නා! බ්ලොගී අයියවයි නංගිවයි හෙව්වා..! අනේ මෙහෙමත් සහෝදරයෝ...මං මැරෙන්න දාලා දෙන්න දුවල අනිත් කාමරෙට. දෙන්න එනවා කාමරේට හිමිජ්ජො දෙන්න වගේ...! 
"හා...ඇයි දෙන්න බය වෙලා වගේ.... මොකද කෑ ගැහුවේ"... මං ඇහුවේ නළලේ තිබ්බ දාඩිය ටික දෙන්න දකින්න කලින් පිහිද ගන්න ගමන්...
"භූමි කම්පාවක් ඕයි භූමි කම්පාවක්! හම්මේ ‍" "මගේ කකුල් දෙකත් පණ නෑ" නංගි විලාප දෙනව... 

"ආාාාාාා. ඒකට ඔය තරම් බය වෙන්න ඕනයෑ.  මට නම් ගානක් දැනුනේ වත් නෑ.."  බ්ලොගී ආයෙත් හරි බරි ගැහුනේ නිදා ගන්න...! බ්ලොගී බය වෙච්චි තරම දෙයියෝ දනී...! තව ටිකක් භූමි කම්පාව continue උනා නම් උදේට වැඩට යන එක පැත්තකින් තියලා බ්ලොගීට සිද්ධ වෙන්නේ නිදා ගත්ත කොට්ට මෙට්ට ටික හෝදලා අව්වට දාන්න...! 

හිකිස්!!!!!!!

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails