ජනවාරි 2 – මේ අවුරුද්දේ ඉඳන් අනුගමනය කල යුතු හොඳ පුරුදු කියලා මම හදා ගත්තු ලැයිස්තුව නැති වෙලා. අනේ වාසනාවන්. කාටද පුළුවන් උදේම නැඟිටලා යෝගා කරලා රෑට දත් මැදලා නිදා ගන්න. ඔන්න ඔහේ මේ අවුරුද්දත් පරණ විදියටම ඉඳලා දානවා..
ජනවාරි 3 – සුපුරුදු ලෙස වැඩට යනකොට විනාඩි 15ක් පරක්කුයි.. ඇති යන්තම් මම පරණ විදියටම හුරු වෙනවා ටිකෙන් ටික.
ජනවාරි 4 – වැස්ස වැස්ස වැස්ස. උදේ නැඟිටින කොටත් වැඩට යද්දිත් වැඩඇරිලා ගෙද එද්දිත් රෑට නිදාගනිද්දිත් වැස්ස. පොඩි කාලෙනම් පරිසර පාඩමට අපට කියලා දුන්නේ ගස් කැපුවම වැස්ස නැති වෙලා නියඟ ඇති වෙනවා කියලා. මොන මෝඩ කතාවක්ද? බලන් ඉද්දි මිනිස්සු ගස් කපලා පොලව සමතලා කරනවා දවසින් දවස. මේ වහින්නේ යස අගේට. අනේ මන්දා දැන්වත් මේ විෂය නිර්දේශ මාරු කරා නම් හොඳයි.
ජනවාරි 5 – හෙට පැංචිගේ මඟුලෙ යන්නත් ඕනා. මඟුලකට යනවා කියන්නෙත් දැන් කාලේ මඟුලක් කරනවා තරම්ම බැරෑරුම් වැඩක්. ඇඳුම් කැඩුම් සෙරෙප්පු බෙරෙප්පු අතපයට කනකර තෑගිබෝග යානවාහන කොච්චර වියහියදම්ද අප්පා..
හැබැයි ඔය බරෙන් බාගයක් නිදහස් කරන්න පුළුවන් ක්‍රමයකුත් මං හොයා ගත්තා.
ඕං බලන්න කෝ..
ඇඳුම්
ජනවාරි 6 – යංතම් දවස් ගානක් තිස්සේ ඉඳලා ලෑස්ති වෙච්චි දවස උදා උනා. මහා පාන්දර 9ට මායි ඔපිසියේ තව මිතුරියකුත් එක්ක බදුළු පුරවරේට ගියා. බියුටි කචල් ඇන්ටි කෙනෙක් ගාවට ගිහින් ඇස්බැමි උගුල්ල ගත්තා ජීවිතේ පලවෙනි වතාවට. බ්ලොගීගේ උගුල්ලපු නැති තඩි ඇස්බැමි නිසා බ්ලොගීට පැංචි නමකුත් දාලා තිබුනා grizzly bear කියලා. ඉතින් පැංචිගේ මඟුල අස්සේ දෙනෝ දාහක් ඉස්සරහ පැංචි බ්ලොගීට ඔය නමෙන් කතා කරොත්වත් කියලා තමා බ්ලොගී බියුටි කචල් ඇන්ටිඅක්ක කෙනෙක් ගාවට ගියේ. ඇන්ටිඅක්කත් නූල් කෑල්ලක් ඇහි බැමේ අඹරවලා වැඩේ කරන්න පටන් ගත්තා. බුජු හප්පේ… ඒ වගේ වේදනාවක් නම් මේ ලෝකෙ සත්වයෙක්ට එන්න එපා කියලා බ්ලොගී හිත යටින් ප්‍රාර්ථනා කරන ගමන් දත් මිටි කාගෙන බියුටි ඇන්ටිට ඇස්බැමි උගුල්ලන්ට ඉඩ ඇරියා.. දැන් බ්ලොගීගේ ඇස් වලින් දිගට හරහට කඳුළු බේරෙනවා. කඳුළු බේරෙද්දි ඒ වැඩේ කරන්න අපහසු නිසා බ්ලොගී ඇන්ටි අක්කගෙන් ටිෂු කෑල්ලක් ඉල්ලුවා. කඳුළු පිහදාන්නවත් වෙලාවක් නැති නිසා වේදනාව ඉවසගන්න බැරිව බ්ලොගී ටිෂු කෑල්ල ගුලිකරලා හපාගත්තා. මහ අජූත සුවඳක් එක්ක ලුණු මිශ්‍ර කුප්පමේනියා රසක් ඒ ටිෂු කෑල්ලෙන් බ්ලොගීට දැනුනා. හර්බල් ටිෂු එකක් වෙන්ට ඇති. ඇස් අරින්න බැරි හන්දා බ්ලොගී හිතුවා. ඇස් ඇරලා බලද්දි බ්ලොගිත් දේදුනු වන් ඇස් බැමි යුවලක හිමිකාරියක් වෙලා. වින්ද වේදනාව කොහෙන් ගියාද දන්නෑ. බ්ලොගී ඇස් බැමි නටවලා කණ්නාඩියෙන් බලන් ඉඳ්දි ඇන්ටි අක්කා කියපි “නංගි මගේ ලේන්සුව දෙනවද” කියලා. හත්වලාමයි! බ්ලොගී මෙච්චර වෙලා හපාගෙන ඉඳලා තියෙන්නේ ඇන්ටි අක්කගේ හොටු ලේන්සුව.
හදිසියේ ඇති වෙච්ච ඔක්කාර තත්වයට කට අතින් වහගෙන බාත්රෑම් එකට දුවද්දි
“ආනේ සුභ ආරංචියක් වත්ද?” ඇන්ටි අක්ක මගේ යාළුවාගෙන් අහපි..ජනවාරි 07 – ඊයේ මුළු දවසම පැංචිගේ මංගල්ලෙටම හරි. ගොඩාක් කට්ටිය හිටියත් දැක ප්‍රිය උපදවන්න පුළුවන් ජාතියේ කවුරුත් නොහිටි එකයි මටයි මගේ යාළුවටයි තිබුන දුක. කාලෙකින් පරණ කොම්පැණියේ යාළුවෝ ටිකත් එක්ක විනෝදෙන් හිටියා. ඒ අස්සේ පැංචිගෙත් මගෙත් හොඳම යාළුවෙකුත් හිටියා. ඉතින් කෑම වෙලාව ලං වෙලා ඒ අක්කා මාවත් ඇදගෙන බුෆේ මේසේ ගාවට දිව්වා.
අනේ මාත් එක්ක මේ කේක් ටික බෙදපං නංගිඅනේ ඉතින් ඒ ඉල්ලීම අහක දාන්න බැරි හන්දා මාත් බත් බෙදාගෙන එන ඈයන්ට පනාව දාගෙන කේක් බෙදුවා. මිනිස්සු උඩින් කොයි විදියට හිටියත් එයාලගේ ඇතුලාන්තය කොයි වගේද කියලා දැන ගන්න තිබුන හොඳ විදියක් තමා කෑම මේසෙ. පිළිවෙලට කෑම ටික බෙදාගෙන එන පෝළිම ඉවර වෙන්නේ කේක් බෙදන තැනින්. එතනම තියෙනවා පපඩම් දීසිය. දන්නවනේ ඉතින් මඟුල් ගෙවල් වල පපඩම්. හෙන ලොකුයිනේ ඉතින්. පපඩම් පිගානෙටත් කවුද තේ හැන්දක් තියලා. අනේ අර පෝලිමේ එන එක එක්කෙනා අර තේ හැන්දෙන් පපඩම් බෙදාගන්න කරන උත්සහය දැකලා බ්ලොගීට හතර හිනා. සමහරු නම් ඉතින් මොලේ ඇතිව පපඩම අතෙන් බෙදාගෙන ගියා. පපඩම තේ හැන්දට අලයින් කරගෙන පිඟානට ගේන ටිකට හුළගක් ඇවිත් පපඩම පිඟානට වැටෙනවා. හහ්! ඒත් සුද්දා කියලා තියෙන්නේ ට්‍රයි ඇන්ඩ් ට්‍රයි කියලලුනේ…
ජනවාරි 08 – අද බ්ලොගීගේ නිවාඩුව… ලියන්ට ඇත්තේ එකම දෙයයි..
නින්ද තරම් මිනිසා සුවපත් කරන දෙයක් මෙලොවෙහි තවත් ඇත්ද?
