Friday, September 3, 2010

බ්ලොගී ද ඉන්වෙස්ටිගේටර්ර්ර්ර්!!! | පාර්ට් ටූ!.

හොස්ටල් එකේ බහුතරයක් මේ බැරල් අම්මණ්ඩිලා එක්ක තරහයි.. ඒත් හැමෝම විශ්වාස කරන්න බැරි හන්දා ඉතාමත් විශ්වාසනීය සෙට් එකක් විතරක් වැඩේට තෝරාගත්තා.. දැන් මේ සැට් එකේ බ්ලොගී ඇන්ඩ් ගැන්සියත් එක්ක අට දෙනෙක් ඉන්නවා.. ඔක්කොමලා හොස්ටල් එකේ වැඩිහිටි අක්කලා(බ්ලොගී ඇතුළුව) .. අපි අට දෙනාම විවේක වෙලාවේදී කවුරුත් වැඩිය නොඑන තැනකට ගොහින් අක්කලාට ගේම දීමේ සාකච්ඡාව පැවැත්තුවා.. කොහොම හරි විනාඩි 45කට පස්සේ එක එක්කෙනා දුන්න  අදහස් සළකලා බලලා  හැ‍මෝගෙම එකඟතාවය මත අපි ඔක්කොම තෝරාගත්ත එක ජඩ වැඩක් අක්කලාට පාඩමක් උගන්නන්න………


බැරල් බඩවල් වල හුළං බස්සන්න… හැබැයි වැඩේ ක්‍රියාත්මක කරේ සතියකට පස්සේ…..


ඉතින් අපි බ්ලොගී ගැන්සිය මොකද කරේ අතේ ඉතුරු වෙලා තිබුන සල්ලි කීය කීය හරි  එකතු කරලා යම් තරමකට ගානක් ‍සැට් කර ගත්තා. බැරල් අම්මණ්ඩිගෙන් අවසර ගත්තු බ්ලොගියි තව සගයෙකුයි ටවුමට ගොහින් තවත් අයිස්ක්‍රීම් එකකුයි ෆාමසියකට ගොහින් විරේක පෙතියි රොත්තකුයි සල්ලි දීලා ගත්ත. ස්ලීපින් ටැබ්ලට් ගොඩාක් ගත්තොත්නේ සූසයිඩ් කර ගන්න කියලා සැක හිතන්නේ.. ඒත් වැඩි හොඳට කියලා තැන් දෙක තුනකින් තමා විරේක පෙති ගත්තේ. 


ඔන්න දැන් බඩු ටික අරන් ආයේ හොස්ටල් එකට ආව කියමුකෝ…


මේ පාර ගෙනාපු අයිස්ක්‍රීම් එක ලීටරයකට වඩා අඩු එකක්.. මුලින්ම ගැන්සියේ කස්ටියම අයිස්ක්‍රීම් හැන්ද ගානේ කෑව.. අලුත් පිටම ෆ්‍රිජ් එකට දැම්මම අහුවෙයි කියලා අර දෙන්න නොකා ඉඳී කියලයි ඒ වැඩේ කරේ. ඒ අයිස් ක්‍රීම් ටිකක් දියවෙනකල් තියපු බ්ලොගී හා පිරිස හොඳට කුඩු කරන ලද විරේක පෙති ටික අයිස් ක්‍රීම් එකේ උඩට ඉස්සා.. දැන් තේ හැන්දකින් හොඳට කැලැත්තුවා. දැන් භාජනේ උඩින්ම  අඟලක් විතර ගණකම තට්ටුවකම තියෙන්නේ විරේක පෙති අධිසානද්‍රිත රසවත් වැනිලා අයිස්ක්‍රීම්..  යම් යම්.. කෑවොත් බඩුම තමා.. හිකිස්!!  හැබැයි කට්ටියට මාරම දුකයි. සල්ලි දීලා අයිස්ක්‍රීම් අරන් මේ කරන්න යන අපරාදෙට. ඒත් කුස්සියේ අක්කලා දෙන්නට වෙන්න යන වැඩේ මතක් උනාම කට්ටියම තමන්ගේ පෙරේත කම් යටපත් කර ගෙන වැඩේට උපරිම සහයෝගය දුන්නා.. ඉතින් සෙට් එකම වැඩේ සම්පූර්ණ කරන්න කලින් දැන් කියෙන අයිස්ක්‍රීම් මට්ටම රහස් සංකේතයකින් සළකුණු කරා.. කැවද නැද්ද කියලා කන්ෆෝම් කරගන්නත් එපැයි…


දැන් බ්ලොගී ගැන්සියට මාරම මෙව්වයි..  කස්ටියටම ජොලි.. බැරල් අම්මණ්ඩිලා දෙන්න මේක කෑවොත් වෙන විජ්ජුම්බරේ හිතෙන් මව මවා රස විඳ විඳ කස්ටිය හිනාවෙනවා.. සමහරු හිටපුගමන් හිචිස් ගාලා තනියමත් හිනා වෙනවා.. ඔන්න ඉතින් බ්ලොගී සහ ගැන්සියේ කෙල්ලෝ දෙන්නෙක් අයිස්ක්‍රීම් එකේ රස ගැන අර දෙන්නට ඇහෙන්න වර්ණනා කරන ගමන් අයිස්ක්‍රීම් භාජනේ ගෙනිහින්  ෆ්‍රිජ් එකට දැම්මා..


පහුවදා උදේ නැඟිට්ට බ්ලොගී ඇන්ඩ් ගැන්සිය වෙනදට වඩා  හරිම ආසාවෙන් ඉස්කෝලෙ යන්න ලෑස්ති උනා.  ඉස්කෝලේ ඉවර වෙනකල් වෙලාව බල බල ඉඳපු බ්ලොගී අවසාන බෙල් එක ගහලා “යෝ වද තම් පවරෝ” කියන්නත් කලින් පන්තියෙන් පැන ගත්තා….

 

අවසානය හෙටම…….!

Thursday, September 2, 2010

බ්ලොගී ද ඉන්වෙස්ටිගේටර්ර්ර්ර්!!! | පාර්ට් වන්!

මේ ගැන කාටවත් කියන්නෑ කියලා අපි දිවි හිමියෙන් පොරොන්දු උනා. මේ ගැන කටේ කෙල බින්දුවක් හරි හලන එකීගේ ඇ‍ඟේ හොරි දාලා කසලා මැරෙන්න ඕන කියලා අපි ශාප කරා.. ඒත් ගෑනු ගතිය කියන්නේ මේකට නේ. අනේ මං මේ තියන්න යන කතාව මේ කතාවට සම්බන්ධ කිසිම ජීවියෙක්ගේ ඇස නොගැටේවා… මේ රහස එළි කල සැනින් මගේ ඇ‍ඟේ හොරි දාන්න ගනීවි ඉහි ඉහි.. ඒත් මට බෑ  මේ රහස තවත් හංගන් ඉන්න…….


ඔන්න එහෙනම් මං කිව්වා


බ්ලොගී ද ඉන්වෙස්ටිගේටර්ර්ර්ර්!!!! බ්ගොගී අවසානෙට ගිය ඉස්කෝලේ තිබුන ගැහැනු නේවාසිකා ගාරයක්.. මේක හරිම චාම් සරළ නේවාසිකාගාරයක්.. බ්ලොගීගේ ඉගෙනීමේ උනන්දුවයි නිදා ගැනීමට ඇති අකමැත්තයි බොහොම ඉහල මට්ටමක තිබුන නිසා බ්ලොගී පවුලේ වැඩි හිටියෝ තීරණය කලා බ්ලොගියව මේ නේවාසිකාගාරෙ කොටු කරන්න.. ඉතින් කාලයක් එක්ක බ්ලොගියට නේවාසිකාගාරය හුරු උනා බ්ලොගීගෙම ඩයල් ටිකක් සැට් උනාට පස්සේ. එකම අවුල උදේ 5ට නැඟිටලා පාඩම් කරන සීන එක තමා. ඉතින් මේ නේවාසිකාගාරේ ගැන කියනවා නම් තව පෝස්ට් ගනනාවක් ලියත හැකියි.. ඉතින් ඒ වැඩේ කල්දාලා කියන්න ගිය කතාව කියලා ඉන්නම් කෝ..


මේ නේවාසිකාගාරේ ඉන්නවා උයන පිහන වැඩ වලට අම්මණ්ඩිලා දෙන්නෙක්.. ඒ දෙන්න මතක් වෙද්දි අදටත් බ්ලොගියගේ ඇ‍‍ඟේ මාළු නටනවා. හොස්ටල් එකේ ඉස්සර හිටපු පාලිකාව ගැන කේලම් කියලා මේ දෙන්නා එයාව එළවගෙන කොහොම හරි. මොකාද නැති වලේ මොකද පණ්ඩිතයාලු වගේ පාලිකාවක් නැති හොස්ටල් එකේ මේ දෙන්න තමා මැඩම් ලා උනේ.. ඒකත් අවුලක් නෑ කියමු කෝ. මේ දෙන්නට තවත් කැත පුරුද්දක් තිබුනා. ඒ තමා හොරකම් කිරිම. ළමයි නැති වෙලාවට දෙන්න හොස්ටල් එකට ඇවිත් බඩු හාරවුස්සලා ඔය අහිංසක කෙල්ලෝ ටික ‍තමන්ට කියලා ගෙනත් තියං ඉන්න කිරිපිටි සීනි විතරක් නෙමේ බිස්කට් ටිකත් හොරකං කරන්න තරම් මේ දෙන්නා පුරුදු වෙලා වෙලයි හිටියේ..


ගෙදරින් ඇවිත් ගිය දවසකට අතේ මිටේ ගුලි කරලා යන සල්ලි කීය කීය හරි එකතු කරලා බ්ලොගී ඇන්ඩ් ගැන්සිය කඩේට යන වෙලාවක අයිස් ක්‍රීම් ලීටරයක් ගෙනත් හොස්ටල් එකේ ඉන්න පොඩි උන් ටිකත් එක්ක බෙදාගෙන කන්න පුරුදු වෙලා හිටියා. ඉතින් මේ වගේ වෙලාවකදි අයිස් ක්‍රීම් ඉතුරු උනොත් ඒක හොස්ටල් එකේ ‍ෆ්‍රීජ් එකෙන් තියලා පස්සේ ආයේ බෙදා ගෙන කනවා. ඉතින් ඔය වගේ දවසකදි ඉස්කෝලෙ ඇරලා ඇවිත් බත් කන්දකටත් වග කියලා අයිස්ක්‍රිම් කන්න ලෑස්තිවෙලා ඒක ගේන්න බ්ලොගී ඇන්ඩ් ගැන්සියේම කෙනෙක් යැව්වා වැඩේට. අයිස්ක්‍රීම් බාජනේ ඇරපු ගමන් බ්ලොගීට තේරුනා කලින් දවසේ කාලා ඉතුරු උන ප්‍රමාණයට වඩා දැන් තියෙන ගාන අඩුයි කියලා..


ළමයි නම් කවදා වත් ඔය වගේ කැත වැඩ නොකරන නිසාම බ්ලොගී ගැන්සියේ තව දෙන්නෙක් එක්ක ගියා කුස්සියට පොඩි සර්ච් එකක් දාන්න.. මේ වගේ වැඩ කරන්න ගියාම බ්ලොගිත් එයාගේ වීරයා ෂර්ලොක් හෝම්ස් වගේ තමා ඉතින්… ඒ ගියාම කුස්සියේ අක්කලා එයාලගෙ කාමරේට වෙලා ලී කොට ඉරනවා… සෙරප්පු ගලවලා බ්ලොගි ඇන්ඩ් ගැන්සිය හොර පූසියෝ වගේ කුස්සියේ එ‍හා මෙහා ගියා හෝඩුවාවක් ලැබෙනකල්….


කුස්සියේ අක්කලා වැඩ කරන මේසේ උඩ මොනාහරි දියරයක් තිබුන භාජනයකින් ඇතිවෙච්ච රවුම් සළකුනක් තිබුනා.. ඒ ළඟම ලා කොලපාටට දියර බින්දු කීපයක් හැලිලා.. කකුලේ ඇඟිලි වලින් ඉස්සිලා එතනට ගිය බ්ලොගී අතේ තිබුන අයිස්ක්‍රීම් භාජනේ ඒ පැල්ලම උඩින් තිබ්බා.. හ්ම් අකුරටම ගැලපෙනවා.. එතන තිබුන ඒ දියරය ඇඟිල්ලට අරන් ඉවකරා බ්ලොගී… හ්ම් වැනිලා අයිස්ක්‍රීම් සුවඳම තමයි..  බ්ලොගීලාගේ අයිස්ක්‍රීම් එකෙන් කාලකට වැඩිය වගකියපු උයන අම්මණ්ඩිලා දෙන්නා දැන් හොඳට ගොරව ගොරව සැප නින්දක.. කොහොමත් ඒ දෙන්නව අරහං බ්ලොගිට මේ කරලා තියෙන කැත වැඩේ නිසා තවත් තරහයි…


කෙල්ලනේ වරෙල්ලා.. අපේ අයිස්ක්‍රීම් ටික හොරෙන් කාපු මේ බැරල් අම්මණ්ඩිලාට හොඳ පාඩමක් උගන්නමු…..


බ්ලොගී ගැන්සියේ සාමාජිකයෝ පෙරටු කරගෙන ගැන්සියේ රහස් පොට් එකට ගෑටුවේ මේ දෙන්නට හොඳ පාඩමක් උගන්නලා මිස පස්ස නොබලමී කියන දැඩි අධිෂ්ඨානයෙන්…!!!


බැරල් අම්මණ්ඩිලාට ඉගැන්වූ පාඩම සමඟ කමිං සූන්…….!

Monday, August 30, 2010

බ්ලොගීස් ග්‍රෑන්ඩ් මදර්ර්ර්ර!!

හෆොයි මාසෙට එකක් වත් ලියන්නැති වෙනවා තව ටිකකින්..

මේ ලියන්න යන්නේ මගේ ස්වීට් ස්වීට් ආච්චා ගැන.. ස්වීට් කිව්වට අවුස්සගත්තොත් බඩුම තමා.. කනෙන් ලේ හැලෙනකල් අහගන්න පුළුවන් ලුණු ඇඹුල් ඇතුව. ඉස්සර මං ආච්චා එක්ක වලියක් දාගත්තොත් කෑගහනවා නපුරු ආත්තම්මා! නපුරු ආත්තම්මා!  කියලා.


අපේ ආච්චට ලස්සන නමක් තිබුනත් පුංචි කාලේ ඉඳන්ම ආච්චිට පවුලේ හැමොමයි නෑදෑ පිරිවරයි ආමන්ත්‍රණය කරලා තියෙන්නේ “චාබේ” කියලා . මැලේ බාෂාවෙන්  “චාබේ” කියන්නේ මිරිස් වලට… ඉතින් අපේ ආච්චි පොඩි කාලේ ඉඳන්ම මිරිස් කරල වගේ සැරැයිලු. ඒ නිසයි එයාට ඒ නම වැටිලා තියෙන්නේ.  සමහර අවස්ථාවල අපි උනත් වැඩිය දන්නැති නෑදැයෙක්ට අපේ අනන්්‍යතාවය පැහැදිලි කරන්නේ චාබේ ආච්චිගේ මුණුබුරා/මිනිබිරි කියලා.. එතකොට ඕන යකෙක් අපිව අඳුරා ගන්නවා.


ඉතින් අපේ මේ ෂෝයි ආච්චම්මාත් එක්ක අපි ඔහොම සතුටින් ඉන්න කොට දවසක් අපේ මහගෙදරට අපේ පුංචිගේ නැන්දම්මා ඇතුළු සහපිරිවර නෑගං ආවා.. එයාලා ඉන්නේ කොළඹ.. ඒ වගේම හරිම පොෂ්!! වචන පහක් කතා කරොත් ඉන් වචන තුනහමාරක්ම ඉංගිරීසි තමා.. 
ඒ පවුලේ ආච්චිලා සීයලා අංකල්ලා ඇන්ටිලා, කොටින්ම අළුත උපන් බබා ඇඬුවෙත් ඉංගිරිසියෙන් ..  ඉතින් පොඩි කාලේ බ්ලොගියට ඉංගිරීසි අරහං. බ්ලොගී බයේ හැංගිලා හිටියේ කොයි වෙලේ හරි මේ ආපු ගැන්සියේ පොරක් බ්ලොගී එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න ගනී කියලා. ඉතිං.ඒ දවස් වල බ්ලොගියව ගෙදර අහල පහලියක වත් දැක ගන්න හරි අමාරුයි. හැංගිලා වගේ හිටියේ. බඩගිනි උනොත් විතරක් මීයෙක් වගේ සුරුස් ගාලා කුස්සියට ගිහින් කෑම කාලා ආයේ කාමරේට රිංග ගන්නවා.. 


ඒ පවුලේ ආච්චම්මා නං අඳින්නේ  කොට කලිසම්.. මටයි අයියලටයි නර ලොව හොල්මන් වගේ ඉතින්…!  ඒත් ඉතින් අපිට මොකෝ.. තම තමන්ගේ කැමැත්ත නේ.. ඒ වගේම එයාලා හරි හොඳ මිනිස්සු.. ඉතින් ඔය පොෂ් රොත්තම ටික දවසක් ගෙදර ඉඳලා ගියා කියමුකෝ. දැන් අපේ ගෙදර අයටත් මේ හුළං වැදිලා ටික ටික. හුළං වැදිලා ලෙඩේ තද වෙච්චි පුංචි දාපංකෝ නිතීයක් ළමා ළපටි හැමෝම ඉංග්‍රීසියෙන් කතා කරපන් කියලා.. මළකෙලියයි!!  දැන් මොකෝ කරන්නේ..


අනේ එදා ඉඳන් ගෙදර දෙවනත් කරගෙන හිටුපු අයියලා නංගිලා රොත්ත මීයට පිම්බා වගේ.. ඉඳලා හිටලා කතා කරත් යස් නෝ ඇරෙන්න ඉතුරුවා රහසින් ඇහෙන නෑහෙන ගානට තමා කියවෙන්නේ. කතාව ඒක නෙමේ. අවවාදයට වඩා ආදර්ශය උතුම් නේ.. ඉතින් පුංචි නම් ඉංග්‍රීසියෙන් කතා කිරීම අකුරටම කලා ( හැබැයි එයත් එක්ක කතා කරන්න කවුරුත් හිටියේ නෑ)
මේ නීතිය අපේ අසරණ ආච්චාටත් බළපෑවා. හැබැයි අපිට තරම් නෑ. එයාට සිද්ද උනා කතා කරන වචන අතරින් පතරට හරි ඉංගිරීසි වචනයක් දෙකක් එම්බඩ් කරගන්න. හැබැයි එයා නම් ඒ වැඩේ කැමැත්තෙන් කරේ. ඇයි අප්පා අර ඇවිත් ගිය ආච්චි (පුංචිගේ නැන්දම්ම) දැක්කමඉරිසියා හිතෙනවා නේ. සෝයි කොට කලිසමකුත් දාලා අත් කොට බ්ලවුස් එකක් දාලා ඉංග්‍රීසියෙන් චට පට ගාලා කතා කරන කොට ආසා හිතෙනවා අප්පා අපිටත් එහෙම ඉන්න ඇත්නම් කියලා..


ඔන්න ඉතින් ඔය දවස්වලම දවසක පුරුදු විදියට ගෙදර ලමා ළපටි ටික ඉස්කෝලේ ගිහිනි ඇවිත් ඇඳුමත් මාරු නොකර මූණ (‍නො)සෝදා බත් කන්දට වග කියන්න පටන් ගත්තා.. ‍ මේ අතරේ ආච්චම්මා එයාගේ පරණ යාළුවෙක් එක්ක කතාව.. ඒ යාළුවත් ආච්චිගෙම වයස. නම ඇල්බට් ආච්චි. දැන් දෙන්නගේ කතාව දිගටම යන අතර අපිටත් ඒ කතා ඇහෙනවා..


ඇල්බට් ආච්චි – අනේ අක්කේ බලන්න කෝ මේ දවස් වල පෑවිල්ල. ඇස් ගිනි කනවා නේද


ආච්චම්මා – ඔව් නංගි, මගේ මල් පැල ඔක්කොම මැරිලා . කොච්චර water දැම්මත් වැඩක් නෑ..


ඇල්බට් ආච්චි – රට ඉන්න දූලා ලියුම් එහෙම එව්වද අක්කේ..



ආච්චම්මා – නෑ එයාලා දැන් ලියුම් දාන්නෑනේ. අපේ පොඩි දුවගේ සෙල්ටෙක්(ඒ කාලේ සෙල්ටෙල් නේ තිබුනේ)  එකට තමයි කතා කරන්නේ..

ඇල්බට් ආච්චි –අපේ පුතත් ලියුම් එව්වේ නෑ ගොඩ කාලෙකින්.. දැන් මාසයක් විතර ඇති.



ආච්චම්මා – ඇත්තද? මේ කාලේ තැපැල් climate එකත් එච්චර හොඳ නෑනේ නංගි.

හෆොයි තැපැල් ක්ලයිමේට් එක!!!


භාවිතා කරපු වචන කෙසේ වෙතත් ආච්චි කියන්න අදහස් කරපු දේ කියවුනා මං හිතන්නේ. ..! 

ප.ලි - පසුව කඩු හරඹ ඔස්තාර් පැංචිගෙන් අසා දැන ගත් පරිදි ආච්චි නිවැරදි බව ඔප්පු විය..

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails