Sunday, June 13, 2010

නිකොබාර් භූමි කම්පාව හා බ්ලොගී !

ගෙදරට අන්තර්ජාලේ ගත්ත දා ඉඳලා බ්ලොගී නිදියන්නේ මහ රෑ 12ට හෝ පාන්දර ජාමෙට.... උදේ 7.15විතර වෙනකල් හොඳට නිදාගෙන පරක්කු වෙලා වැඩට දුවන එක දැන් බ්ලොගීගේ පුරුද්දක්.... මේ අද පාන්දර වෙච්චි හුට පටයක්...!
බ්ලොගීට කලින් බ්ලොගීගේ නගා ජාලේ අත්පත් කර ගත්ත හන්දා බ්ලොගියට සිද්ධ උනා දත කට වහගෙන නිදා ගන්න.... ඒත් ඉතිං නංගි කී බෝර්ඩ් එකට තඩිබාන සද්දෙටයි පරණ කොම්පූටරේ හෝ ගාන සද්දෙටයි...... තව පැයකටවත් නින්ද යනවනම් බොරු...! 
දැන් ඔයාලා බලයි ඇයි අපේ නගා කී බෝර්ඩ් එකට තඩිබාන්නේ කියලා.. ඒක නම් වෙන බ්ලොගක් ලියන්නම වටින සිද්ධිය..! මගේ පරණ කොම්පූටරේ වර්තමාන හිමි කරු තමා නංගි... මුලදි බ්ලොගියගේ ලැප්ටොප් එකට නංගිගෙන් විසුමක් නැති හින්දා බ්ලොගිය පරණ කොම්පූටර් මරදානේ නංගිගේ කරේ ගැහුව... ඒක බාරදෙද්දි නංගිට පොඩි ඇඩ් එකකුත් දැම්මා


" නංගි, මේ අද මම ඔයාට භාර දෙන්නේ මගේ පණ! මගේ ඇස් දෙක!"
(යටි හිතෙන් - "හප්පා මළ මඟුලෙන් මං නිදහස්! )

"මේ අවුරුදු හතරට මේ කොම්පූටරේ මට කිසි වදයක් දුන්නෑ!"
(යටි හිතෙන් - "අනේ මගේ කට! උඹ මට දුන්න තරම් වදයක් මගේ හතුරෙක් වත් මට දීලා නැතුව ඇති"!)

"මේක මම බලාගත්තේ මගේ ඇස් දෙක වගේ!"
(කවුරු හරි තමංගේ ඇස් දෙක ඇස් කුහර වලින් උගුලලා එළියට අරන් සපත්තු පොළිෂ් කරන බ්‍රෂ් එකෙන් පොලිෂ් කරලා තියෙනවද? හික්)

"ඉතිං ඔයත් ඒවගේම මේක බලාගනී කියලා මම හිතනවා!"
(නංගි මට නියවනවා! මං කොම්පූටරේ බලා ගත්ත හැටි එයා නොදන්වැයි!)

හහ්! නංගි ගස්සගෙන ගියා...! 

"ආයේ ලැප්ටොප් එක එහෙම අතපත ගානව එහෙම නෙමෙයි"  නංගි ටිකක් එහාට යන කල් ඉඳලා මම ඇහෙන නෑහෙන තරමට පොඩි ගර්ජනාවකුත් දැම්මා...! වැඩිය සද්ද දාන්නත් බෑ.. හෙට ඉඳං උයන එකවත් වර්ජනය කරොත් මං ඉවරයි...!

පරණ  කොම්පූටරේ මීයාගේ ලෙෆ්ට් බට්න් එක වැඩ කරන්නෑ. ඉතිං පැත්ත මාරු කරලා තමයි පාවිච්චි කරන්නේ...!රයිට් ක්ලික් ඕන නම් කීබෝඩ් එකේ පිහිට තමයි...! කීබෝඩ් එක ඊට හපන් !කී එකකින් ටයිප් වෙන්න ඒ කී එක උඩ හිට ගන්න තමා වෙන්නේ...!ඉතිං ඕක තමා නංගි කී බෝඩ් එකට තඩි බෑමේ රහස...!

ඕං ඉතින් පීලි පැන්නා ... කියන්න ආවේ මේ කතාව නෙමෙයි නේ...! 

ඉතිං ඔන්න බ්ලොගී මර නින්දට පාත්‍ර උනාය කියමුකෝ....! මෙන්න බොලේ නංගියි අයියයි බෙරිහන් දෙනවා මොනාද කිය කියා...! අර 20 20 මැච් වල චාමර කපුගෙදර අන්තිම බෝලෙට හයේ පාරක් ගහලා නූලෙන් පරදින්න හිටපු ලංකාව බේර ගත්ත වෙලාවෙත් නංගි බෙරිහන් දුන්නේ ඒ වගේ...!

"මොනාද මනුස්සයෝ... මිනිහෙකුට නිදහසේ නිදාගන්න දෙනවකෝ! කෑගහන්නේ! ඔයාලට නම් මොකද මම එපැයි උදේම නැඟිටලා වැඩට යන්න".. මාත් ඊට හයියෙන් බෙරිහන් දුන්නා...! 

ඒත් මේ දෙන්නා නෙමේ නතර කරන්නේ විලාපේ...! මං කොට්ටේ අරං කන් දෙක වැහෙන්න ඔළුවට තියලා තද කර ගත්තා...! 

මෙන්න බොලේ ඒ පාර නංගි ඇවිත් ඇඳ විට්ටමෙන්ද කොහෙද ඇදලා ඇඳ හොල්ලනවා..දඩ බඩ දඩ බඩ ගාලා...!  හප්පට සිරි.. මේ හාල්මැස්සිට කොහෙන්ද මෙච්චර පවර් එකක්! "දෙන්නම් ජම්බෝ....අද  උඹ ඉවරයි නංගී බබෝ" කියලා කොට්ටෙත් උස්සගෙන  බ්ලොගී ඔළුව උස්සලා බැලුවේ නංගිට pillow punch එකක් දෙන්න...
හෑහ් කෝ බොල නංගි.. නංගි නෑ ඇඳ ඉබේම හෙලවෙනවා...
බුදු අම්මෝ ‍......හ්...!  හොල්මන්! හොල්මන්! ඇඳ ඉබේම හෙලවෙනෝ....! 

බ්ලොගීට හීන් දාඩිය දැම්මා...! බ්ලොගී කොට්ටේ කොනක් හපා ගත්තේ මේ මොන විජ්ජුම්බරයක්ද කියලා හිතා ගන්න බැරුව...!
මොහොතකින් සියලු දේ නිසල උනා...! කෝ මේ දෙන්නා! බ්ලොගී අයියවයි නංගිවයි හෙව්වා..! අනේ මෙහෙමත් සහෝදරයෝ...මං මැරෙන්න දාලා දෙන්න දුවල අනිත් කාමරෙට. දෙන්න එනවා කාමරේට හිමිජ්ජො දෙන්න වගේ...! 
"හා...ඇයි දෙන්න බය වෙලා වගේ.... මොකද කෑ ගැහුවේ"... මං ඇහුවේ නළලේ තිබ්බ දාඩිය ටික දෙන්න දකින්න කලින් පිහිද ගන්න ගමන්...
"භූමි කම්පාවක් ඕයි භූමි කම්පාවක්! හම්මේ ‍" "මගේ කකුල් දෙකත් පණ නෑ" නංගි විලාප දෙනව... 

"ආාාාාාා. ඒකට ඔය තරම් බය වෙන්න ඕනයෑ.  මට නම් ගානක් දැනුනේ වත් නෑ.."  බ්ලොගී ආයෙත් හරි බරි ගැහුනේ නිදා ගන්න...! බ්ලොගී බය වෙච්චි තරම දෙයියෝ දනී...! තව ටිකක් භූමි කම්පාව continue උනා නම් උදේට වැඩට යන එක පැත්තකින් තියලා බ්ලොගීට සිද්ධ වෙන්නේ නිදා ගත්ත කොට්ට මෙට්ට ටික හෝදලා අව්වට දාන්න...! 

හිකිස්!!!!!!!

Tuesday, May 25, 2010

තව වෙන මොනවද?

 

Lappy

හරි දැන් කියන්න බලමු ඔයාලා දන්නවද බ්ලොගීට දැන් අළුත් යාළුවෙක් ඉන්නවය කියලා. නෑනේ. එහෙනම් ඔන්න දැන ගන්න බ්ලොගිගේ අළුත් යාළුවගේ නම Sony Vaio  VGN-CR520E මේ ඉන්නේ එයා. මගේ පණත් හරි එයත් හරි. හැමවෙලේම බ්ලොගීගේ උකුලේ නැළවි නැළවි තමා ඉන්නේ. මෙයා බ්ලොගී ගාවට ආවේ බ්ලොගීගේ ආදරණීය අයියාගේ ආදරණීය තෑග්ගක් විදියට. දැන් බ්ලොගී හරි හරියට බ්ලොග් ලියන්නෙත් මෙයාට පින් සිද්ද වෙන්න තමා. හරි හරි ඔය ඇති.

දැන් අනිත් නිවුස් එක. බ්ලොගී ගෙදරට අන්තර්ජාලේ ගත්තා. හුරේ……!.! ඔපිසියේ කොච්චර නම් ජාලේ තිබ්බත් ගෙදර තියෙනවා වගේ නෑනේ. ෆිල්ම් එකක් බාගන්නත් සතියක් විතර යනවා. ඇයි ඉතිං හොරෙන් එපැයි ඒ වැ‍ඩෙත් කරන්න. දැන් එහෙම නෑ. බ්ලොගී ජංජාලේ පීන පීන නානවා. බයිස්කෝප් අඩවියට පින් සිද්ද වෙන්න ඕන් රවුටරේ හැමවෙලේම ගිනි අරන් වගේ තමා. හදිස්සියකට ගෑස් ඉවර උනොත් රවුටරේ උඩට බිත්තරයක් එහෙම කඩලා දාලා බැද ගන්න උනත් පුළුවන්.

OK! දැනට බයිලා එච්චරයි. රස කතාවකින් හෙට අනිද්දම හමුවෙමු.

Sunday, May 23, 2010

බ්ලොග් ලිවිම සහ තවත් පුරුදු

බ්ලොගී අනිත් අය වගේම මුලදි බ්ලොග්  ලිවිල්ල පටන් ගත්තේ හරිම උනන්දුවෙන් නොවැ?උනන්දුව කොච්චරද කියනවනම් බ්ලොගී කියලා නමකුත් ඈදා ගත්තානේ. ඒත් දැන් කාටත් පේනවා ඇතිනේ බ්ලොගීගේ බ්ලොග් ලිවිල්ල. ඇද ඇද බ්රේක් ගගහා යන හැටි.

ඔය වගේම තමා යාළුවනේ බ්ලොගීගේ තවත් සමහර පුරුදු. 2010 අවුරුද්ද පටන් ගත්න ඔන්න මෙන්න තියෙද්දී බ්ලොගීට හැබෑම ඩයරියක් ලියන්න පුදුම උණක් තිබ්බා. ඉතිං බ්ලොගී ඔය දන්න කියන හැමෝටම කන්කෙඳිරි ගෑවා තමන්ට ඩයරියක් හොයා දෙන්න කියලා. ඔහොම කොහො හරි ඩයරියක් හොයා ගත්තාය කියමුකෝ. ජනවාරි ලිවුවා. පෙබරවාරි මුල් සතියෙ ලිවුවා. අනේ දැන් ඒ ඩයරිය ආගිය අතක් නැහැ. ඩයරිය ගෙනත් දුන් පුද්ගලයා මේ සටහන නොදකිත්වා.

මේ ළඟකදි ඉඳලා බ්ලොගිට තවත් උණක් හැදුනා. ඒ තමා සුවදායී ක්‍රියාශීලී දිවි පැවැත්මක් සඳහා යෝග ව්‍යායාම කිරීම. ඔය උවමනාව ආපු කාලේ බ්ලොගී අවස්ථාවට ගැළපෙන ඇදුම්ද , Relaxing Music clips ද, Yoga for beginners videos ද මහ ගොඩක් එකතු කරන් වැඩේට බැස්සාය කියමුකෝ! පටන් ගත්ත කාලේ දවසට පැයයි! දවසින් දවස ගත වෙද්දි පැය, පැය භාගේ වෙලා , පැය කාල දක්වා අඩුවෙන්න ගත්තා. දැන්නම් බ්ලොගී ව්‍යායාම කොරන්නේ බඩ වැඩී කියලා හිතුන විනාඩියට විතරමයි. හිහ් හිහ්!

හනේ මන්දා, හුස්ම ගන්න එකත් Auto වෙන හින්දා හොඳයි. නැත්නම් ඒකත් නැවතිලා ගොඩක් කල්. මේ තත්වය මට විතරක්මද අනික් අයටත් පොදුයිද? දෙයියෝ දනී!!!

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails