Monday, August 30, 2010

බ්ලොගීස් ග්‍රෑන්ඩ් මදර්ර්ර්ර!!

හෆොයි මාසෙට එකක් වත් ලියන්නැති වෙනවා තව ටිකකින්..

මේ ලියන්න යන්නේ මගේ ස්වීට් ස්වීට් ආච්චා ගැන.. ස්වීට් කිව්වට අවුස්සගත්තොත් බඩුම තමා.. කනෙන් ලේ හැලෙනකල් අහගන්න පුළුවන් ලුණු ඇඹුල් ඇතුව. ඉස්සර මං ආච්චා එක්ක වලියක් දාගත්තොත් කෑගහනවා නපුරු ආත්තම්මා! නපුරු ආත්තම්මා!  කියලා.


අපේ ආච්චට ලස්සන නමක් තිබුනත් පුංචි කාලේ ඉඳන්ම ආච්චිට පවුලේ හැමොමයි නෑදෑ පිරිවරයි ආමන්ත්‍රණය කරලා තියෙන්නේ “චාබේ” කියලා . මැලේ බාෂාවෙන්  “චාබේ” කියන්නේ මිරිස් වලට… ඉතින් අපේ ආච්චි පොඩි කාලේ ඉඳන්ම මිරිස් කරල වගේ සැරැයිලු. ඒ නිසයි එයාට ඒ නම වැටිලා තියෙන්නේ.  සමහර අවස්ථාවල අපි උනත් වැඩිය දන්නැති නෑදැයෙක්ට අපේ අනන්්‍යතාවය පැහැදිලි කරන්නේ චාබේ ආච්චිගේ මුණුබුරා/මිනිබිරි කියලා.. එතකොට ඕන යකෙක් අපිව අඳුරා ගන්නවා.


ඉතින් අපේ මේ ෂෝයි ආච්චම්මාත් එක්ක අපි ඔහොම සතුටින් ඉන්න කොට දවසක් අපේ මහගෙදරට අපේ පුංචිගේ නැන්දම්මා ඇතුළු සහපිරිවර නෑගං ආවා.. එයාලා ඉන්නේ කොළඹ.. ඒ වගේම හරිම පොෂ්!! වචන පහක් කතා කරොත් ඉන් වචන තුනහමාරක්ම ඉංගිරීසි තමා.. 
ඒ පවුලේ ආච්චිලා සීයලා අංකල්ලා ඇන්ටිලා, කොටින්ම අළුත උපන් බබා ඇඬුවෙත් ඉංගිරිසියෙන් ..  ඉතින් පොඩි කාලේ බ්ලොගියට ඉංගිරීසි අරහං. බ්ලොගී බයේ හැංගිලා හිටියේ කොයි වෙලේ හරි මේ ආපු ගැන්සියේ පොරක් බ්ලොගී එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න ගනී කියලා. ඉතිං.ඒ දවස් වල බ්ලොගියව ගෙදර අහල පහලියක වත් දැක ගන්න හරි අමාරුයි. හැංගිලා වගේ හිටියේ. බඩගිනි උනොත් විතරක් මීයෙක් වගේ සුරුස් ගාලා කුස්සියට ගිහින් කෑම කාලා ආයේ කාමරේට රිංග ගන්නවා.. 


ඒ පවුලේ ආච්චම්මා නං අඳින්නේ  කොට කලිසම්.. මටයි අයියලටයි නර ලොව හොල්මන් වගේ ඉතින්…!  ඒත් ඉතින් අපිට මොකෝ.. තම තමන්ගේ කැමැත්ත නේ.. ඒ වගේම එයාලා හරි හොඳ මිනිස්සු.. ඉතින් ඔය පොෂ් රොත්තම ටික දවසක් ගෙදර ඉඳලා ගියා කියමුකෝ. දැන් අපේ ගෙදර අයටත් මේ හුළං වැදිලා ටික ටික. හුළං වැදිලා ලෙඩේ තද වෙච්චි පුංචි දාපංකෝ නිතීයක් ළමා ළපටි හැමෝම ඉංග්‍රීසියෙන් කතා කරපන් කියලා.. මළකෙලියයි!!  දැන් මොකෝ කරන්නේ..


අනේ එදා ඉඳන් ගෙදර දෙවනත් කරගෙන හිටුපු අයියලා නංගිලා රොත්ත මීයට පිම්බා වගේ.. ඉඳලා හිටලා කතා කරත් යස් නෝ ඇරෙන්න ඉතුරුවා රහසින් ඇහෙන නෑහෙන ගානට තමා කියවෙන්නේ. කතාව ඒක නෙමේ. අවවාදයට වඩා ආදර්ශය උතුම් නේ.. ඉතින් පුංචි නම් ඉංග්‍රීසියෙන් කතා කිරීම අකුරටම කලා ( හැබැයි එයත් එක්ක කතා කරන්න කවුරුත් හිටියේ නෑ)
මේ නීතිය අපේ අසරණ ආච්චාටත් බළපෑවා. හැබැයි අපිට තරම් නෑ. එයාට සිද්ද උනා කතා කරන වචන අතරින් පතරට හරි ඉංගිරීසි වචනයක් දෙකක් එම්බඩ් කරගන්න. හැබැයි එයා නම් ඒ වැඩේ කැමැත්තෙන් කරේ. ඇයි අප්පා අර ඇවිත් ගිය ආච්චි (පුංචිගේ නැන්දම්ම) දැක්කමඉරිසියා හිතෙනවා නේ. සෝයි කොට කලිසමකුත් දාලා අත් කොට බ්ලවුස් එකක් දාලා ඉංග්‍රීසියෙන් චට පට ගාලා කතා කරන කොට ආසා හිතෙනවා අප්පා අපිටත් එහෙම ඉන්න ඇත්නම් කියලා..


ඔන්න ඉතින් ඔය දවස්වලම දවසක පුරුදු විදියට ගෙදර ලමා ළපටි ටික ඉස්කෝලේ ගිහිනි ඇවිත් ඇඳුමත් මාරු නොකර මූණ (‍නො)සෝදා බත් කන්දට වග කියන්න පටන් ගත්තා.. ‍ මේ අතරේ ආච්චම්මා එයාගේ පරණ යාළුවෙක් එක්ක කතාව.. ඒ යාළුවත් ආච්චිගෙම වයස. නම ඇල්බට් ආච්චි. දැන් දෙන්නගේ කතාව දිගටම යන අතර අපිටත් ඒ කතා ඇහෙනවා..


ඇල්බට් ආච්චි – අනේ අක්කේ බලන්න කෝ මේ දවස් වල පෑවිල්ල. ඇස් ගිනි කනවා නේද


ආච්චම්මා – ඔව් නංගි, මගේ මල් පැල ඔක්කොම මැරිලා . කොච්චර water දැම්මත් වැඩක් නෑ..


ඇල්බට් ආච්චි – රට ඉන්න දූලා ලියුම් එහෙම එව්වද අක්කේ..



ආච්චම්මා – නෑ එයාලා දැන් ලියුම් දාන්නෑනේ. අපේ පොඩි දුවගේ සෙල්ටෙක්(ඒ කාලේ සෙල්ටෙල් නේ තිබුනේ)  එකට තමයි කතා කරන්නේ..

ඇල්බට් ආච්චි –අපේ පුතත් ලියුම් එව්වේ නෑ ගොඩ කාලෙකින්.. දැන් මාසයක් විතර ඇති.



ආච්චම්මා – ඇත්තද? මේ කාලේ තැපැල් climate එකත් එච්චර හොඳ නෑනේ නංගි.

හෆොයි තැපැල් ක්ලයිමේට් එක!!!


භාවිතා කරපු වචන කෙසේ වෙතත් ආච්චි කියන්න අදහස් කරපු දේ කියවුනා මං හිතන්නේ. ..! 

ප.ලි - පසුව කඩු හරඹ ඔස්තාර් පැංචිගෙන් අසා දැන ගත් පරිදි ආච්චි නිවැරදි බව ඔප්පු විය..

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails