ඉතිං ඔහොම කියව කියව ගිය බ්ලොගීට කිසි දෙයක සිහියක් තිබුනේ නැත. පසු දින අයියා සහ අනිත් අය විස්තර කල ආකරයටයි මේ කතාව මම ලියන්නේ.
අයියා - “ඒයි ඔන්න ගෙදර ආවා, දැන් අපි බහින්න ඕන, ඒයි ඒයි ඇහෙනවද? බහින්න පුළුවන්ද?”
බ්ලොගී - “ආ.....! හා... හා!”
අයියා බ්ලොගී වත්තම් කරගෙන වෑන් එකෙන් බහි. බැස්ස පසුත් බ්ලොගීව අල්ලාගෙන සිටින්නේ අයියා විසිනි.
අයියා - “ඔයාට ඇවිදින්න පුළුවන්ද?”
බ්ලොගී - “පුළුවන් පුළුවන්” “ඇයි මට බැරි?”
අයියා හෙමින් බ්ලොගීව අල්ලාගෙන සිටි අත බුරුලු කරේ වෑන් එකේ තිබුන බ්ලොගිගේ සපත්තු දෙක ගන්නටලු.
දඩාං..! බිඩිං...! ඩෝ...ං! බ්ලොගීලගේ ගෙදර වතුර යන කානුවෙ, පෙරදා වැස්සට මඩවී නාරා වලක් වී තිබුන වතුර වලට බ්ලොගී වැටී ඇත්තේ එහි සිටි ඉස්ගෙඩියන් ගෙම්බන් පනුවන් සියල්ල වලෙන් ගොඩ කරවමිනි.
දැන් ඉතිං මොනා කරන්නද? අයියා නංගීවත් උදව් කරගෙන පිටි මූට්ටයක් සේ බ්ලොගීවත් කර ගහගෙන ගෙදරට ගාටා ඇත. (බ්ලොගීගේ මහගෙයත් බ්ලොගීගේ ලොකු අම්මාගේ ගෙයත් ඇත්තේ එක ලඟය. සාමාන්‍යයෙන් නෑදෑ පිරිවර යන්නේ මහගෙදරටයි. අයියා බ්ලොගිවත් උස්සගෙන ලොකු අම්මාගේ ගෙදරට ගිහින් ඇත්තේ නෑදැයෝ ටික වැඩිය ඒ පැත්තට නොඑන බැවිනි.) බ්ලොගී අයියාගේ කර උඩින් එන හැටි දුටු ලොකු අම්මා ඇස් උඩදාගෙන බලා සිට ඇත්තේ වෙනදට යස අගේට ලොකු අම්මව හොයාගෙන දුවගෙන එන බ්ලොගියට මක් උනාද කියලයි. මඩ නාගෙන සිටි බ්ලොගීව ගෙදර කාමරයක බිමින් තියන ලදි. මේ සියල්ල වෙද්දිත් බ්ලොගීගේ කට වැහුනේ නැතිලු. මෙච්චර කල් කාටවත්ම නොකියා හිතේ තියාගෙන දුක් විඳපු සියලු දෑ හෙලි කරමින් බ්ලොගී අඬා ඇත. විදෙස් ගතව සිටින අම්මාවත් අයියාවත් මේ දැන් මෙතනට ගෙනත් දෙන්න කියමින් බ්ලොගී හඬා ඇත. පුංචි කාලයේ පටන්ම අම්මාගේ උණුසුම නැතුව හැදුන ඒ අඩුව ගොඩක් දැනිලා තිබුනත් ඒ බව කාටත් නොපෙන්වා හැම වෙලේම සිනා මුහුණෙන් සිටි බ්ලොගිට හිතේ තිබුන දුක පිට කරගන්න හොඳ අවස්ථාවක් ලැබී ඇත. දිගින් දිගටම අයියාත් අම්මාවත් ගෙනැත් දෙන සේ ඉල්ලමින් කෑගසමින් හඬන බ්ලොගිව සනසන්න කාටත් පුළුවන් වෙලා නැනැ. මේ විකාරය ඉවරවෙන පාටකුත් නැති හින්දා කටිටියම එකතුවී බොහොම දරුණු පියවරක් ක්‍රියාත්මක කරන්න තීරණය කරලා. ගෙදර තිබුන දෙහි ගෙඩි ටිකක් සොයා ගත් ලොකු අම්මා ඒවා කපා බ්ලොගීගේ ඔළුවෙත් යටපතුලෙත් තවරා ඇත්තේ එතකොටත් වෙරි බහිවිදැයි බලන්නලු. මේ වැඩේන් පස්සේ කට්ටියම බ්ලොගීව උස්සන් නාන කාමරයට අරන් ගොස් ඇත්තේ දෙහි ගෙඩියට කරන්න බැරි දේ සීතල වතරටත් පුළුවන්දැයි බලන්න. නාන කාමරයේ රෙදි සෝදන ගලේ බ්ලොගීව වාඩි කරවලා වතුර ටැංකියෙන් අයිස් වගේ සීතල වතුර අරන් බ්ලොගී නාවද්දී බ්ලොගී හූ තියන්න පටන් අරන්. තමන්ව නාවන්ට නොදී අරන් යන ලෙස කියමින් බ්ලොගී නංගීට බැගෑපත් වෙමින් හඬා ඇත.
තමන්ව නෑවු සියලු දෙනාට දෙස් තියමින් හඬන බ්ලොගීව නැවතත් කාමරයට මාරු කරද්දි වත් බ්ලොගීගේ කට වැහිලා නැහැ. ඒ ගමන බ්ලොගීට මතක් උනේ මීට අවුරුදු ගනනාවකට කලින් (බ්ලොගී සා පෙ ලියන කාලෙ) ඉඳලා බ්ලොගීට ඇණයක් උන කොළු ගැටයෙක්ව. මේ කොළු ගැටය තවමත් ඉඳලා හිටලා කොහෙන් හරි මතු වෙලා බ්ලොගීට ඇණයක් වෙනවා. ඒ පාර ඒ කොළු ගැටයව මරණ්නයි බ්ලොගීට උවමනා උනේ. ඒ කොළු ගැටයවත් ඒයාට සපෝට් කරන සියලු දෙනාවත් එක පාරින් මරා දමන බවට බ්ලොගී දිවුරා ඇත (දැක්ක නේද බ්ව්වම එන පිට් එක). එයින් බ්ලොගීව නිහඬ කරන්නට හැකිවී ඇත්තේ හෙට උදේම ගිහින් ඒ කොළු ගැටයට තලන්නට බ්ලොගීට උදව් කරන බවට අයියා කිවුවට පස්සෙයි.
ඉතිං ඔහොම පැයක් විතර නා නා ප්‍රකාර දේ කියමින් සිටි බ්ලොගීට දොයි මත වෙලා තියෙන්නේ ගෙදර හැමෝටම බ්ලොගීව නලවල හති වැටුනට පස්සෙයි. තව තවත් විකාර කරන්න ගත්තොත් sleeping tablet පොවන්නත් ගෙදර කට්ටිය කතා උනා කියලා බ්ලොගීට පස්සේ ආරංචි උනා.
හොඳට නිදා හිටපු බ්ලොගීට නැගිටින්නට උනේ ඔළුව පැලෙන්න තරම් රිදෙන්න ගත්ත නිසාත් බඩවැල් කැරකෙනවා වගේ දැනිච්ච බඩේ අමාරුව නිසාත්. නැගිටලා නාන කාමරේට ගිය බ්ලොගිව අඩියක් පස්සට විසික් උනේ කණ්නාඩියෙන් දැකපු රූපයට බය වෙලා. දෙහි ගාපු හින්දද කොහද කෙස් වලු ටික කෙලින් වෙලි තිබුනේ කරන්ට් වැදිච්ච කාක්කෙක්ගේ පිහාටු වගෙයි. ඇස් ගෙඩි දෙක රතු පාටයි. අඬපු නිසාම මූණත් තඩිසිසි වෙලා. අවශ්‍යතාව ඉටු කරගත් බ්ලොගී අයෙත් ගොහින් දොයියා ගත්තා.
උදේ නැගිට්ටම වෙච්චිදේ හිතා ගත්හැකියි නේ. බ්ලොගීගේ ආච්චි ඇතුළු වැඩිහිටි පාර්ශවයෙන් බ්ලොගීට කනේ ඇඟිලි ගහ ගන්න ලුණු ඇඹුල් ගොරක ඇතුව හොඳට අහගන්න ලැබුනා. ඒ මදිවට බ්ලොගී පිරිවරේ අයගේ කතා. නංගී බ්ලොගීගේ ව්කාර ඔක්කොම ඒයාගේ mobile phone එකෙන් record කරලා හැමෝටම cast කරනවා. මමත් ඔය වීඩියෝ එකක් දෙකක් බැලුවෝ. හයීයෝ...!එකම විකාරයක් ...! පොළොව පලා ගෙන ගහින් හැංගෙන්න හිතුනා බ්ලොගීට.
ඔහොම හැමෝගෙම විහිළු අස්සේ බ්ලොගීගේ හිතේ තව පොඩි බයකුත් ඇතිවෙලා. ඇයි දැන් බ්ලොගී කරපු වැඩේ ගැන SPBR දැන ගත්තොත් විසුමක් නෑ. මොකද එයා වත් නොකරන වැඩක් තමා බ්ලොගී කරලා තියෙන්නෙ. ඔහොම කල්පනා කර කර ඉන්න කොට බ්ලොගීට එනවා call එකක්. කාගෙන්ද සතියක් විතර තරහා වෙලා කතා නොකර හිටපු අරයාගෙන්. බ්ලොගී ගැහැ ගැහී call එක answer කරා. “අවුලක් නෑ මම ඔයාට සමාව දුන්නා. දැන් අපි යාළුයි.” එයා කියනවා. “ඉතිං දෙවියනේ මම කවද්ද ඔයාගෙන් සමාව ඉල්ලුවේ” මම ඇහුවා. “ඇයි මේ ඔයා ඊයේ රෑ msg එකක් දාලා තියෙන්නේ” “මම කරපු වැරදි වලට සමාවෙන්න” කියලා. මාවත් අමතක වෙලා හිටි මම කොහොමද msg එකක් type කරන්නේ. මමත් කල්පනා කලා. බ්ලොගීගේ අයියණ්ඩි මෙතැනින් ගියේ ඔය වෙලාවේ. අයියා බ්ලොගීට ඇහැක් ගහලා අමුතු පහේ හිනාවකුත් දාගෙනයි ගියේ. පස්සේ තමා බ්ලොගීට ඇත්ත වැටහුනේ. අයියා බ්ලොගීට වෙච්ච පොරොන්දුව ඒ විදියටම ඉෂ්ඨ කරලා.
නිමි!