Thursday, January 27, 2011

බ්ලොගී ගැන නම් නෙමෙයි ඕං !!

Chando

හැමදාම බ්ලොගීට වෙන අලකලංචි ලියන එකේ අද බ්ලොගීට හිතුනා වෙනස් දෙයක් ලියන්න. මේක ලියන්න ඕන කියලා බ්ලොගීට හිතුනේ බ්ලොගිගේ අයියා මේ දැන් ටිකකට කලින් ස්කයිප්පුවේ චැට් කර කර හිටපු වෙලාවක මේ සිද්ධිය මතක් කරලා හිනා වෙච්ච නිසා. බ්ලොගී මහගෙදර හිටපු කාලේ එහේ හිටපු ලොකු අම්මගේ පුතෙක් බ්‍රොයිලර් චිකන් ෆාම් එකක් කලා. මේ ෆාම් එක මහා පරිමාණයෙන් කරපු නිසාවෙන් මේ අයිය එයාගෙම මල්ලිලයි බ්ලොගීගේ අයියයි එක්ක ගෙවල් ලග මල්ලිලා රොත්තකුත් ෆාම් එකේ ස්ටාෆ් එකට බඳවගෙනයි හිටියේ. හවස් කරේ වෙද්දි හම්බවෙන ගතමන්ට් එක නිසා මේ කොල්ලො කුරුට්ටෝ ටිකත් බොහොම උනන්දුවෙන් ෆාම් එකේ වැ‍ඩ වලට සම්බන්ධ උනා. ඔය එක එක චරිත ගැන වෙන වෙනම ලියනවා නම් බ්ලොගියට තව සතියක්ම බ්ලොග් ලියතෑකි.


ඉතින් අද බ්ලොගීගේ කතාවේ ප්‍රධාන චරිතේ වෙන්නේ මේ මල්ලිලා රොත්තේ හිටපු එක මල්ලි කෙනෙක්.

එයාගේ නම චන්ඩෝ........ ඇයි දන්නවද එයාට එහෙම කියන්නේ....... මොකද ඒක තමා එයාගේ නම.. හැකැස්ස්ස්!!!! ‍ඉතින් මෙයා ඈතින් බ්ලොගියගේ නෑදෑයොත් වෙනවා. චරිතේ ගැන කියනවනම් මෙයා තමා චාබේ ආච්චිගේ ලොකුම හතුරා. මල් පැළ පොඩි කරන නිසා, ජම්බු ගහට පේර ගහට නිවනක් නැති නිසා බ්ලොගීගේ ආත්තම්මාගෙන් චන්ඩෝ හැමවෙලේම බැනුම් අහනවා. ඉඳලා හිටලා හොඳට ගුටිත් කනවා...


ඉතින් ඔන්න එක දවසක් ෆාම් එකේ හිටපු බ්‍රොයිලර් චික්කු ටික ලොරි තඩියක නැඟලා ගියාට පස්සේ ෆාම් එක සුද්ද කරන්න මේ චන්ඩෝ මල්ලි ඇතුළු ඉතුරු කුරුට්ටෝ ටික ෆාම් එකට ගොඩ වැදුනා. ෆාම් එකේ වහලේ පරාල වල ගැට ගහපු වයර් වලින් තමයි කුකුලන්ට කෑම සහ වතුර දාන භාජන එල්ලලා තියෙන්නේ... ඉතින් මේ කියන දවසේ කුකුලෝ ටික නැති නිසා ඒ වයර් ටික කෑම භාජන නැතුව නිදහසේ පොළව මට්ටමට එල්ලිලා තිබුනා. (මෙතනින් බලා ගන්න)

 

ඒ අතරම ඔයාලා දන්නවා ඇති මේ ජාතියේ ෆාම් වල බිම ඇතිරුම විදියට දහයියා පාවිච්චි වෙනවා. ඉතින් ඔය වැඩේට ගෙනාපු දහයියා මිටි වගයකුත් පැත්තක ගොඩ ගහලා තිබුනා. ෆාම් එක සුද්ද කරන අතරම මේ මල්ලිලාගේ දඟ වැඩ වලටත් ඉඩක් ලැබුනා. ඔය අතර අපේ කතා නායක චන්ඩෝ මල්ලි මොකද කරේ දහයියා මිටි උඩට නැගලා අර වයර් එකක එල්ලිලා ටාසන් වගේ පැද්දෙනවා අනික් බිත්තිය පැත්තට. ඊට පස්සේ ආයෙත් අර වයර් එකක් බෙල්ලේ ඔතාගෙන " මම මැරෙන්න යනවා,  මම මැරෙන්න යනවා " කියලා කෑ ගහනවා. ඒ  අතර කට්ටියටම කැඳවීමක් ලැබුනා හවස තේ පානයට එන්න කියලා. කර කර හිටපු වැඩ ඔක්කොම නවත්තපු අයියලා මල්ලිලා ටික කුස්සිය පැත්තට ඇදුනා. ඔහොම තේ බිබී ඉන්න අතරේ චන්ඩෝ මල්ලි එතන නැති නිසාත් ෆාම් එක පැත්තෙන් ඇහිච්ච අමුතු සද්දයක් නිසාත් සතාගෙ හැටි දන්න ඔක්කොම ‍ෆාම් එක පැත්තට දිව්වා. 
        “අපොයි දෙයියනේ”

 
            මම මැරෙනවා කිය කිය හිටපු චන්ඩෝ මල්ලි ඇත්තටම වයර් එකෙන් බෙල්ල වටේ තොණ්ඩුවක් දාලා පැද්දෙනවා. සිය දිවි නසා ගන්න බෙල්ල වැල දාගත්තා වගේම. ඒ මදිවට අත පය විසි කර කර තොණ්ඩුව ගලව ගන්න දඟලනවා. අතපය පණ නැතිව බලාගෙන හිටපු ඔක්කොටම එක මොහොතකදි සිහිය ඇවිත් දුවලා ගිහින් අර එල්ලිලා හිටි අසරණයව වඩාගෙන වයර් එක කපලා බිමට ගත්තා..


හැමෝගෙන්ම හොඳට ලුණු ඇඹුල් ඇතිව අහ ගත්තු චන්ඩෝ මල්ලිගෙන් පස්සේ දැන ගත්තු විදියට නම් සිද්ධිය මේකයි. බෙල්ලට තොණ්ඩුව දාගෙන හිටිය මේ මනුස්සයාට තේ‍ බොන්න කතා කරපු වෙලේ අර තොණ්ඩුව ලිහා ගන්න බැරි වෙලා. ඒක ලිහ ලිහා ඉන්න කොටම දහයියා මිටි ටික පෙරළිලා ගිහින් මේකාව එල්ලුම් ගහේ යවලා. එදා අපි කොච්චර බය උනත් අද නම් ඒ සිද්ධිය මතක් වෙද්දි මැරෙන්න හිනා. එදා කාටහරි සැක හිතිලා ගිහින් නොබැලුවා නම් මට දෙවනි සිද්ධිය ලියන්න චන්ඩෝ මල්ලි අද මේ ලෝකෙ නෑ.

 

ලැපී පීරලා හෙව්වත් චන්ඩොගේ ෆොටෝ එකක් හොයා ගන්න බැරි උනා. මෙන්න බුකියෙන් හොයා ගත්ත පොටෝ කෑල්ලක්!!!

චන්ඩෝ

Monday, January 10, 2011

බ්ලොගී දුටු වෙඩිම හෙවත් පැංචිගේ මඟුල සහ තවත් කතා…….!

ජනවාරි 1 – තවත් එක අවුරුද්දක්! ඉස්සර කොම්පැණියෙ නම් පළවෙණිදට නිවාඩු. ඒත් දැන් ඔපිසියේ ඒවා බෑ. ඒ හන්දාම උදේ පාන්දර 7.30ට නැඟිටලා බැරි මරගාතේ වැඩට යන්න ලෑස්ති උනා. මොන කරුමකට නිදි මැරුවද කියලා හිතුනා කලින් දවසේ රෑ. යන්තම් 12 වෙනකල් ඉඳලා පැත්තක නිදාගෙන හිටිය අම්මට සුභ අලුත් අවුරුද්දක් කියලා හාද්දක් දුන්නම අම්මා චටස් ගාලා මගේ කම්මුලට තැලුවේ මදුරුවෙක් කනට කොඳුරනව කියලා හිතලද කොහෙද. අවුරුද්දම සුභයි. හෙට උදේම මට කොස්සෙන් තලා ගන්න ඕන කියලා හිතාගෙන මාත් අනික් අතට හැරිලා නිදා ගත්තා.


ජනවාරි 2 – මේ අවුරුද්දේ ඉඳන් අනුගමනය කල යුතු හොඳ පුරුදු කියලා මම හදා ගත්තු ලැයිස්තුව නැති වෙලා. අනේ වාසනාවන්. කාටද පුළුවන් උදේම නැඟිටලා යෝගා කරලා රෑට දත් මැදලා නිදා ගන්න. ඔන්න ඔහේ මේ අවුරුද්දත් පරණ විදියටම ඉඳලා දානවා..


ජනවාරි 3 – සුපුරුදු ලෙස වැඩට යනකොට විනාඩි 15ක් පරක්කුයි.. ඇති යන්තම් මම පරණ විදියටම හුරු වෙනවා ටිකෙන් ටික.


ජනවාරි 4 – වැස්ස වැස්ස වැස්ස. උදේ නැඟිටින කොටත් වැඩට යද්දිත් වැඩඇරිලා ගෙද එද්දිත් රෑට නිදාගනිද්දිත් වැස්ස. පොඩි කාලෙනම් පරිසර පාඩමට අපට කියලා දුන්නේ ගස් කැපුවම වැස්ස නැති වෙලා නියඟ ඇති වෙනවා කියලා. මොන මෝඩ කතාවක්ද? බලන් ඉද්දි මිනිස්සු ගස් කපලා පොලව සමතලා කරනවා දවසින් දවස. මේ වහින්නේ යස අගේට. අනේ මන්දා දැන්වත් මේ විෂය නිර්දේශ මාරු කරා නම් හොඳයි.

ජනවාරි 5 – හෙට පැංචිගේ මඟුලෙ යන්නත් ඕනා. මඟුලකට යනවා කියන්නෙත් දැන් කාලේ මඟුලක් කරනවා තරම්ම බැරෑරුම් වැඩක්. ඇඳුම් කැඩුම් සෙරෙප්පු බෙරෙප්පු අතපයට කනකර තෑගිබෝග යානවාහන කොච්චර වියහියදම්ද අප්පා..
හැබැයි ඔය බරෙන් බාගයක් නිදහස් කරන්න පුළුවන් ක්‍රමයකුත් මං හොයා ගත්තා.
ඕං බලන්න කෝ..
ඇඳුම් කැඩුම් සෙරෙප්පු බෙරෙප්පු අතපයට කනකර තෑගිබෝග යානවාහන කොච්චර වියහියදම්ද ? ඔය බලන්නකො ඉතින්. කොච්චර දේවල් අඩුකරගත්තද මම! හරිම සිම්පල් ප්ලෑනක්!!


ජනවාරි 6 – යංතම් දවස් ගානක් තිස්සේ ඉඳලා ලෑස්ති වෙච්චි දවස උදා උනා.  මහා පාන්දර 9ට මායි ඔපිසියේ තව මිතුරියකුත් එක්ක බදුළු පුරවරේට ගියා. බියුටි කචල් ඇන්ටි කෙනෙක් ගාවට ගිහින් ඇස්බැමි උගුල්ල ගත්තා ජීවිතේ පලවෙනි වතාවට.  බ්ලොගීගේ උගුල්ලපු නැති තඩි ඇස්බැමි නිසා බ්ලොගීට පැංචි නමකුත් දාලා තිබුනා grizzly bear කියලා. ඉතින් පැංචිගේ මඟුල අස්සේ දෙනෝ දාහක් ඉස්සරහ පැංචි බ්ලොගීට ඔය නමෙන් කතා කරොත්වත් කියලා තමා බ්ලොගී බියුටි කචල් ඇන්ටිඅක්ක කෙනෙක් ගාවට ගියේ. ඇන්ටිඅක්කත් නූල් කෑල්ලක් ඇහි බැමේ අඹරවලා වැඩේ කරන්න පටන් ගත්තා. බුජු හප්පේ… ඒ වගේ වේදනාවක් නම් මේ ලෝකෙ සත්වයෙක්ට එන්න එපා කියලා බ්ලොගී හිත යටින් ප්‍රාර්ථනා කරන ගමන් දත් මිටි කාගෙන බියුටි ඇන්ටිට ඇස්බැමි උගුල්ලන්ට ඉඩ ඇරියා..  දැන් බ්ලොගීගේ ඇස් වලින් දිගට හරහට කඳුළු බේරෙනවා. කඳුළු බේරෙද්දි ඒ වැඩේ කරන්න අපහසු නිසා බ්ලොගී ඇන්ටි අක්කගෙන් ටිෂු කෑල්ලක් ඉල්ලුවා. කඳුළු පිහදාන්නවත් වෙලාවක් නැති නිසා වේදනාව ඉවසගන්න බැරිව බ්ලොගී ටිෂු කෑල්ල ගුලිකරලා හපාගත්තා. මහ අජූත සුවඳක් එක්ක ලුණු මිශ්‍ර කුප්පමේනියා රසක් ඒ ටිෂු කෑල්ලෙන් බ්ලොගීට දැනුනා. හර්බල් ටිෂු එකක් වෙන්ට ඇති. ඇස් අරින්න බැරි හන්දා බ්ලොගී හිතුවා. ඇස් ඇරලා බලද්දි බ්ලොගිත් දේදුනු වන් ඇස් බැමි යුවලක හිමිකාරියක් වෙලා. වින්ද වේදනාව කොහෙන් ගියාද දන්නෑ. බ්ලොගී ඇස් බැමි නටවලා කණ්නාඩියෙන් බලන් ඉඳ්දි ඇන්ටි අක්කා කියපි “නංගි මගේ ලේන්සුව දෙනවද” කියලා. හත්වලාමයි! බ්ලොගී මෙච්චර වෙලා හපාගෙන ඉඳලා තියෙන්නේ ඇන්ටි අක්කගේ හොටු ලේන්සුව.

හදිසියේ ඇති වෙච්ච ඔක්කාර තත්වයට කට අතින් වහගෙන බාත්රෑම් එකට දුවද්දි
“ආනේ සුභ ආරංචියක් වත්ද?”  ඇන්ටි අක්ක මගේ යාළුවාගෙන් අහපි..
ජනවාරි 07 – ඊයේ මුළු දවසම පැංචි‍ගේ මංගල්ලෙටම හරි. ගොඩාක් කට්ටිය හිටියත් දැක ප්‍රිය උපදවන්න පුළුවන් ජාතියේ කවුරුත් නොහිටි එකයි මටයි මගේ යාළුවටයි තිබුන දුක. කාලෙකින් පරණ කොම්පැණියේ යාළුවෝ ටිකත් එක්ක විනෝදෙන් හිටියා. ඒ අස්සේ පැංචිගෙත් මගෙත් හොඳම යාළුවෙකුත් හිටියා. ඉතින් කෑම වෙලාව ලං වෙලා ඒ අක්කා මාවත් ඇදගෙන බුෆේ මේසේ ගාවට දිව්වා.
අනේ මාත් එක්ක මේ කේක් ටික බෙදපං නංගි
අනේ ඉතින් ඒ ඉල්ලීම අහක දාන්න බැරි හන්දා මාත් බත් බෙදාගෙන එන ඈයන්ට පනාව දාගෙන කේක් බෙදුවා. මිනිස්සු උඩින් කොයි විදියට හිටියත් එයාලගේ ඇතුලාන්තය කොයි වගේද කියලා දැන ගන්න තිබුන හොඳ විදියක් තමා කෑම මේසෙ. පිළිවෙලට කෑම ටික බෙදාගෙන එන පෝළිම ඉවර වෙන්නේ කේක් බෙදන තැනින්. එතනම තියෙනවා පපඩම් දීසිය. දන්නවනේ ඉතින් මඟුල් ගෙවල් වල පපඩම්. හෙන ලොකුයිනේ ඉතින්. පපඩම් පිගානෙටත් කවුද තේ හැන්දක් තියලා. අනේ අර පෝලිමේ එන එක එක්කෙනා අර තේ හැන්දෙන් පපඩම් බෙදාගන්න කරන උත්සහය දැකලා බ්ලොගීට හතර හිනා. සමහරු නම් ඉතින් මොලේ ඇතිව පපඩම අතෙන් බෙදාගෙන ගියා. පපඩම තේ හැන්දට අලයින් කරගෙන පිඟානට ගේන ටිකට හුළගක් ඇවිත් පපඩම පිඟානට වැටෙනවා. හහ්! ඒත් සුද්දා කියලා තියෙන්නේ ට්‍රයි ඇන්ඩ් ට්‍රයි කියලලුනේ…



ජනවාරි 08 – අද බ්ලොගීගේ නිවාඩුව… ලියන්ට ඇත්තේ එකම දෙයයි..
නින්ද තරම් මිනිසා සුවපත් කරන දෙයක් මෙලොවෙහි තවත් ඇත්ද?

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails