Thursday, September 9, 2010

කියන්නට වචන නැත…

මම මේක අද කිව්වට කමක් නෑ කියලයි හිතෙන්නේ ..ඊයේ මගේ උපන් දිනේ ..

හරියටම රෑ දොළහට කිහිප දෙනෙක් කතා කරලා සුභ පැතුවා.. ඊට පස්සේ ලස්සන ඊමේල් කිහිපයකින් සමහරු සුභපතලා තිබුනා.. උදේම මගේ ආදරණීය (නැන්ද)අම්මා‍ගෙන් සුභ පැතුමක්.. SMS වලින් තවත් කිහිප දෙනෙක්.. ඔෆිස් එකට ආවම ආයෙත් සුභ පැතුම්.. ආයෙත් ටිකකින් අම්මයි අයියයි කතා කරලා සුභ පැතුවා . ඉතිං යන්තම් උදේ 10 වෙද්දි මගේ හිත පිරිලා තිබුනේ.. දැන් ඔක්කොම හරි.. මගේ හිත කිව්වා..   ඊට පස්සේ ගූග්ල් Buzz එකට ගියාම එතන කිහිප දෙනෙකුට වැඩේ මාට්ටු වෙලා කියලා මට තේරුනා.. එයාලා කොහොමද දැන ගත්තේ කියන එක මට ප්‍රශ්නයක් වෙලයි තිබුනේ.. ඉතින් ඊයේ දවස ඔහොම ගෙවුනයි කියමුකෝ…

අද උදේ පණිවිඩයක් ආවා වහාම ඊමේල් චෙක් කරන්න කියලා …. බැලින්නම් මෙන්න බොලේ හොඳම උපන්දින තෑග්ග එතන..

ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ‍කාර්ඩ් එක ඊයෙම මට ඩිලිවර් වෙන්න තිබුනට වැඩේ වෙලා නෑ…  ඉතින් ඒක අද උදේ තමා මට ලැබුනේ.. ඒ නිසා මට ඊයේ ඔයාලාගේ කාඩ් එක දකින්න බැරි උනා.. අද උදේ තමයි දැක්කේ..

email

ඉතින් මේ සටහන හරිම හදිස්සියේ දාන්නේ මගේ Greeting Card එකේ සයින් කරලා තිබුන හා ඉහත සඳහන් එකේක ක්‍රම වලින් මට සුභ පතපු හැමෝටම කරන ස්තූතියක් විදියට.. ඇත්තටම මගේ මුළු හිතම පිරිලා ගියේ මේ කාර්ඩ් එක දැක්කට පස්සේ…… ඉතින්  යාළුවනේ මගේ උපන්දිනය වෙනුවෙන් ඔයාලගේ කාලයෙන් විනාඩියක් වෙන් කරලා මට සුබ පැතුමක් එක් කරපු ආදරණීය ඔයාලා ඔක්කෝටම  බොහොම  බොහොම ස්තූතියි..

 

කණිශ්ක , සූ අක්කා, කණියා, රචියා, ලිෂා , ප්‍රියන්ත අයියා, පැංචි, වාසල අයියා, මලි, deeps, මරණේ , තිස්ස අයියා, පහන් , ගෝලයා හෙවත් උමේෂ් , රොයිලි අයියා, Ansh Lucky, බුද්ධික අයියා, හර්ෂන , ගයාන් කණිෂ්ක , ආගන්තුකයා, පුතා, ශාකු මල්ලි, දුකා අයියා, බින්කු මල්ලි, නිශාචරයා, පැන්ඩා , ‍ධනික , බයිස්කෝප් ටීම් එක  එක්ක ඉන්දික සර්, උපුල් සර්, නරේෂ්, ශෂී, කසුන් අයියා, අපේ නගා, කිත්සිරි අයියා, විශ්නි, ශේන් මොර්ටර්ස් සහ හැම සැරේම මේ වගේ සප්‍රයිස් එකක් දෙන මගේ ආද‍රණීය ආදරේට ආයෙමත් ස්තූතියි..  නම නොකියවුන කවුරු හරි ඉන්නවනම් මට සමාවෙන්න..

Thank-You

පැංචි මට වෙලාවට වැඩ කරන පුරුද්ද ඇති කරගන්න ලස්සනම ලස්සන පුංචි අත් ඔරලෝසුවක් තෑගි දුන්නා. ඔයාටත් බොහොම ස්තූතියි පැංචි.. ළඟදීම සර්ප්‍රයිස් එකක් බලා‍පොරොත්තු වන්න…

හදිසියේම ටයිප් කරපු නිසා වැරදි ඇති… සමාවෙන්න ඕන කස්ටියම.

Saturday, September 4, 2010

බ්ලොගී ද ඉන්වෙස්ටිගේටර්ර්ර්ර්!!! | පාර්ට් ත්‍රී!..

 

nerdy-girl[1]වෙනදටත් යුනිෆෝම් එක මාරු නොකර කෑම කාමරේට ගියත් අද නම් එහෙම ගියේ බඩගින්නකට නෙමෙයි.. ගැන්සියටම ඉවසිල්ලක් නෑ අයිස්ක්‍රීම් මට්ටම චෙක් කරලා බලන කල්.

බත් කන්න කලින් අයිස්ක්‍රීම එක ගන්නත් බැ නොවැ.. කාට හරි සැක හිතුනොත් කියලා හිතලා කස්ටියම තීරණය කලා ඔය හිටිය වගේම බත් එක කනකලුත් ඉමුයි කියලා. කෑම කාමරේට ගිය බ්ලොගී කෑම පිඟන් ටික වහල තිබ්බ පත්තර කොලේ ඉස්සුවා..


මේ මොකද්ද මේ……


පොල් සම්බෝලයි බතුයි.. යකඩෝ උදෙත් ඔය ටිකමයි. ළමයි හැමොගෙම මූණු නිකන් වංගෙඩියේ කොටපු ගොරක මද වගේ වෙලා.. ඉස්කෝලේ ගියාම ආයේ කට්ටියම එන්නේ ඉතින් කුස්සියේ අක්කවත් එක කටකට ගිලින්න පුළුවන් සයිස් එකේ.( ඕඈ……ක්!!) වෙනද නොවෙන සීන් එකක් නිසා ගැන්සියේ අට දෙනාම කුස්සියේ අරෙහෙ මෙහෙ කැරකි කැරකි හිටියා ළමයි ඔක්කොම කෑම පිඟන් අරන් කෑම කාමරේට යනකල්.. අන්තිම ළමයත් ගිය විගහින්ම කුස්සියේ තඩි දොර වහපු ගැන්සිය සිං ගාලා ෆ්‍රිජ් එක ගාවට ඇදුනා. අයිස්ක්‍රීම් එක අතට ගත්ත බ්ලොගී හිමීට පියන අයින් කරා.. හෆ්‍ෆා  අදත් දීලානේ ෂොට් එක.. සළකුණට අඟල් තුන් කාලක් විතර පහළට හැන්දක් ගමන් කරලා තියෙන වගේ අපට නෙමේ ඕන කුක්කු බබෙක්ට තේරෙනවා. දැන් දැන ගන්න ඕන බැරල් අම්මණ්ඩිලාගේ තත්වේ.

“ චටස්! පටස්” අපි ඔක්කොමලා පහ වැඩි කිරීම අට = 40ක් දාගත්තා…


ඊළඟට සැට් එකම අක්කලාගේ කාමරේ දොරට තට්ටු කරා.. මේ වෙලාව සාමාන්‍යයෙන් අක්කලා ලී මෝල ආරම්භ කරන වෙලාව.. ඒත් අද සද්දයක් බද්දයක් නෑ… ආනේ. අපේ එකෙක් කෑ ගැහුවා “ අද එක්කෙනෙක් ගෙදර යන දවස නේ”


“අප්පට බොල ඔව්නේ…!” අද මහ අම්මණ්ඩිගේ ඩේ ඕෆ් එක ෂී…කේ”.. සැට් එකටම මාර අප්සට් දැන්.. ඒත් කෝ අනිකා පේන්න නෑනේ.. අපේ අනිත් බැරල් අම්මණ්ඩි හිටියේ මේ ළඟපාතමයි. එයානම් පවුල් පන්සල් වෙලා එක් පුතණ්ඩියෙකුට අම්ම කෙනෙක් වෙලා හිටියේ.. අනිකා නැතත් මෙයා ඉන්නම එපැයි. හොස්ටල් එක පුරාම හොයලා බැලුවත් ඒ අම්මණ්ඩිව හොයා ගන්න බැරි උනා..  බැරිම තැන අපි මොකද කරේ හොස්ටල් එකේම ඉන්නවා වැඩිය කතා බතා නැති අහින්සක වගේ ඉඳගෙන දිය යටින් ගිනි බෝල ගෙනියන බැරල් අම්මණ්ඩිලාගේ ගොට්ටක්.. බ්ලොගී ඇන්ඩ් ගැන්සියේ හොර වැඩ සියල්ල අක්කලට මාට්ටු කරලා දෙන්නේ මේ ඩයල් එක .. ඉතින් බ්ලොගී ඇන්ඩ් ගැන්සිය මෙයාව තැනේ තියලයි තිබ්බේ. ඒත් එදා කරන්නම දෙයක් නැති පාර බ්ලොගියා අර ළමයට කතා කරා.


බ්ලොගී - ඒයි! කෝ කුස්සියේ අක්කලා….


ගොට්ට - ආ අක්කි!  මං කියන්න හිටියේ පණිවිඩයක්! අපේ ඥාණා අක්කා නම් ගෙදර ගියා.. ලතා අක්කට හදිසියේම ගෙදර යන්න උනා. එයාගේ මහත්තයටයි පුතාටයි හොඳටම අසනීප වෙලා අද දවල්. ඉස්පිරිතාලේ නවත්තන්නත් වෙයිලු. අද එන්නේ වෙන්නෑ කියලා අක්කලාට රෑට කෑම මොනව හරි හදාගන්න කිව්වා…


බ්ලොගී – යකෝ … හරි වැඩක් නේ. අපි ඇයි උයන්නේ. අරයගේ මහත්තයටයි පුතාටයි මක් වෙලාද..


ගොට්ට – දන්නෑ. හරියට කිව්වේ නෑ.. ලතා අක්කා පන්තියට ඇවිත් මට කියලා ගියේ හදිසියේ.. මහත්තයයි පුතයි ආවලු උදේ මෙහේ.. ඒ ඇවිත් ඉඳලා දවල් වෙද්දි දෙන්නටම අසනීප උනාලු.. බඩේ අමාරුවක්ද කොහෙද කියලා තමයි කිව්වේ… ඉස්පිරිතාලේ ගෙනිච්චාම නවත්තන්න කිව්වලු……


හෆ්‍ෆට සිරි.. තේරුනාද සීන් එක.. බැරල් අම්මණ්ඩිලට විද්ද ඊතලේ වැදිලා තියෙන්නේ මහත්තයටයි පුතාටයි.. අනේ අසරණයෝ දෙන්න. අම්මණ්ඩි කැත නැතුව මහත්තයටයි පුතාටයි අපේ අයිස්ක්‍රීම් එකෙන් අරං තමා  කවලා තියෙන්නේ…ඒත් හොඳම සීන් එක ඒක නෙමේ.. අර රෑට උයන්න වෙන්නේ හොස්ටල් එකේ අක්කලා සෙට් එක නොහොත් බ්ලොගී ඇන්ඩ් ගැන්සිය..  ඉහි ඉහි.. ළමයි හතලියකට උයන්න. මරන්න ගෙනි යන සත්තු රුළ වගේ බ්ලොගී ඇන්ඩ් ගැන්සිය කුස්සියට ඇදුනා.. දැන් උයපන්කෝ රෑට.. හැමෝගෙම හිත ඩිගි ගානවා..එක් එකාගේ හිත්වල එක එක සිතුවිලි හොල්මන් කරනවා..


0511-1001-2200-5358_Nervous_Girl_Biting_Her_Fingernails_clipart_image[1] දැන් ඉස්පිත්තාලේ ඩොක්ටර් ලෙඩ්ඩුන්ව චෙක් කරයි..
ලෙඩේට හේතුව හොයා ගනී..
කාපු කෑම අහයි..
අයිස්ක්‍රීම් කියයි… 
අයිස්ක්‍රීම් වලට බඩයන්නේ කොහොමද..

 

අයිස්ක්‍රීම් එක ඉස්පිත්තාලෙට ගෙනියලා චෙක් කරයි ..

 

ඒකට දාපු බෙහෙත් අහුවෙයි. ..

 

කවුද දැම්මේ ….

 

අනේ අපොයි  අපි ඉවරායි… !!!

කට්ටිම සද්ද නැතුව උයනවා.. එකෙක් හොට බිම ඇනගෙන හාල් ගරනවා.. තව එකෙක් කට ඇද කරගෙන ලූණු කපනවා. කාගෙත් සද්දයක් නෑ.. මේ වැඩේ හරියන්නැති නිසා බ්ලොගී ඉස්සෙල්ලාම නිහඬතාවය බින්දා.. දැන් මොකද කරන්නේ..?  ඔන්න අර කුමන්ත්‍රණේ දාපු දවසේ වගේම එක  එකා එක එක අදහස් දානවා.. කුස්සියේ හිටියේ අපි ටික විතරයි.. දැන් මේක ලීක් උනොත් මල විනාශක් වෙන්නේ.. ඔක්කොමලාට ගෙදර යන්නයි වෙන්නේ කවුරු හරි මේක දැනගත්තොත්.. ඒ නිසා අපි ඇග්රිමන්ට් එකකට ආවා.. කවදා හරි අපි A\L ලියලා මේ හොස්ටල් එකෙන් යනකල් මේක රහසක්.. කාටවත් කියනවා තබා අපි අපි වත් ආයේ මේ ගැන කතා කරන්න බෑ.. මේක කවුරු හරි කාට හරි කිව්වොත් ඒකිට අළුහම් හැදියං ( බ්ලොගී ඇන්ඩ් ගැන්සිය ඒ කාලේ බයම ඔය ලෙඩේට. ඒ නිසා මොන ෆිට් එක තිබ්බත් අපි අපි අතර ඇඳුම් තුවා වගේ දේවල් හුවමාරු කර ගත්තේම නෑ) හොරි හැදිලා කසලාම මැරියං. ඒ තව එකෙක්ගේ ශාපය.. අපි මේ රහස කාටවත් කියන්නේ නෑ නෑ මයි.. අපි ඔක්කොම අත් එකට තියලා දිවුරුවා….. අයිස්ක්‍රීම් එක ෆ්‍රීජ් එකෙන් ගත්ත බ්ලොගී බාල්දියක් අස්සේ ඒක හංගගෙන වැසිකිළියට ගිහින් ඔක්කොම අයිස්ක්‍රීම් ටික වැසිකිලි වලට දාලා ෆ්ලෂ් කරා.. අයිස්ක්‍රීම් භාජනේ ඇඳ යට කොනකට තල්ලු කරා….


කට්ටිම උයලා ඉවර වෙද්දි හොඳටම හෙම්බත් වෙලා.. පා..න් කියා ගන්නත් බැරුව ගිහින් ඇඳට වැටුනා….


ප.ලි – මේ සිද්දිය ගැන අදටත් බ්ලොගී කටේ කෙළ බිංදුවක් හැලුවේ නෑ.. කට තදින් වහගෙනමයි ටයිප් කරේ..ඕං කියවන කවුරුහරි මේ සිද්දියට අදාලයි නම් හෝ අදාළ අයව දන්නව නම් මං වගේම ඉඳපල්ලා… ඒ නැතුව කවුරු හරි මේ සිද්දිය ප්‍රචාරය කරන්න එහෙම ලෑස්ති උනොත් cashew nut වෙනුවට විරේක පෙති දාන ලද කෝන් අයිස්ක්‍රීම් එකක තැපෑලෙන් හම්බවෙයි…


Friday, September 3, 2010

බ්ලොගී ද ඉන්වෙස්ටිගේටර්ර්ර්ර්!!! | පාර්ට් ටූ!.

හොස්ටල් එකේ බහුතරයක් මේ බැරල් අම්මණ්ඩිලා එක්ක තරහයි.. ඒත් හැමෝම විශ්වාස කරන්න බැරි හන්දා ඉතාමත් විශ්වාසනීය සෙට් එකක් විතරක් වැඩේට තෝරාගත්තා.. දැන් මේ සැට් එකේ බ්ලොගී ඇන්ඩ් ගැන්සියත් එක්ක අට දෙනෙක් ඉන්නවා.. ඔක්කොමලා හොස්ටල් එකේ වැඩිහිටි අක්කලා(බ්ලොගී ඇතුළුව) .. අපි අට දෙනාම විවේක වෙලාවේදී කවුරුත් වැඩිය නොඑන තැනකට ගොහින් අක්කලාට ගේම දීමේ සාකච්ඡාව පැවැත්තුවා.. කොහොම හරි විනාඩි 45කට පස්සේ එක එක්කෙනා දුන්න  අදහස් සළකලා බලලා  හැ‍මෝගෙම එකඟතාවය මත අපි ඔක්කොම තෝරාගත්ත එක ජඩ වැඩක් අක්කලාට පාඩමක් උගන්නන්න………


බැරල් බඩවල් වල හුළං බස්සන්න… හැබැයි වැඩේ ක්‍රියාත්මක කරේ සතියකට පස්සේ…..


ඉතින් අපි බ්ලොගී ගැන්සිය මොකද කරේ අතේ ඉතුරු වෙලා තිබුන සල්ලි කීය කීය හරි  එකතු කරලා යම් තරමකට ගානක් ‍සැට් කර ගත්තා. බැරල් අම්මණ්ඩිගෙන් අවසර ගත්තු බ්ලොගියි තව සගයෙකුයි ටවුමට ගොහින් තවත් අයිස්ක්‍රීම් එකකුයි ෆාමසියකට ගොහින් විරේක පෙතියි රොත්තකුයි සල්ලි දීලා ගත්ත. ස්ලීපින් ටැබ්ලට් ගොඩාක් ගත්තොත්නේ සූසයිඩ් කර ගන්න කියලා සැක හිතන්නේ.. ඒත් වැඩි හොඳට කියලා තැන් දෙක තුනකින් තමා විරේක පෙති ගත්තේ. 


ඔන්න දැන් බඩු ටික අරන් ආයේ හොස්ටල් එකට ආව කියමුකෝ…


මේ පාර ගෙනාපු අයිස්ක්‍රීම් එක ලීටරයකට වඩා අඩු එකක්.. මුලින්ම ගැන්සියේ කස්ටියම අයිස්ක්‍රීම් හැන්ද ගානේ කෑව.. අලුත් පිටම ෆ්‍රිජ් එකට දැම්මම අහුවෙයි කියලා අර දෙන්න නොකා ඉඳී කියලයි ඒ වැඩේ කරේ. ඒ අයිස් ක්‍රීම් ටිකක් දියවෙනකල් තියපු බ්ලොගී හා පිරිස හොඳට කුඩු කරන ලද විරේක පෙති ටික අයිස් ක්‍රීම් එකේ උඩට ඉස්සා.. දැන් තේ හැන්දකින් හොඳට කැලැත්තුවා. දැන් භාජනේ උඩින්ම  අඟලක් විතර ගණකම තට්ටුවකම තියෙන්නේ විරේක පෙති අධිසානද්‍රිත රසවත් වැනිලා අයිස්ක්‍රීම්..  යම් යම්.. කෑවොත් බඩුම තමා.. හිකිස්!!  හැබැයි කට්ටියට මාරම දුකයි. සල්ලි දීලා අයිස්ක්‍රීම් අරන් මේ කරන්න යන අපරාදෙට. ඒත් කුස්සියේ අක්කලා දෙන්නට වෙන්න යන වැඩේ මතක් උනාම කට්ටියම තමන්ගේ පෙරේත කම් යටපත් කර ගෙන වැඩේට උපරිම සහයෝගය දුන්නා.. ඉතින් සෙට් එකම වැඩේ සම්පූර්ණ කරන්න කලින් දැන් කියෙන අයිස්ක්‍රීම් මට්ටම රහස් සංකේතයකින් සළකුණු කරා.. කැවද නැද්ද කියලා කන්ෆෝම් කරගන්නත් එපැයි…


දැන් බ්ලොගී ගැන්සියට මාරම මෙව්වයි..  කස්ටියටම ජොලි.. බැරල් අම්මණ්ඩිලා දෙන්න මේක කෑවොත් වෙන විජ්ජුම්බරේ හිතෙන් මව මවා රස විඳ විඳ කස්ටිය හිනාවෙනවා.. සමහරු හිටපුගමන් හිචිස් ගාලා තනියමත් හිනා වෙනවා.. ඔන්න ඉතින් බ්ලොගී සහ ගැන්සියේ කෙල්ලෝ දෙන්නෙක් අයිස්ක්‍රීම් එකේ රස ගැන අර දෙන්නට ඇහෙන්න වර්ණනා කරන ගමන් අයිස්ක්‍රීම් භාජනේ ගෙනිහින්  ෆ්‍රිජ් එකට දැම්මා..


පහුවදා උදේ නැඟිට්ට බ්ලොගී ඇන්ඩ් ගැන්සිය වෙනදට වඩා  හරිම ආසාවෙන් ඉස්කෝලෙ යන්න ලෑස්ති උනා.  ඉස්කෝලේ ඉවර වෙනකල් වෙලාව බල බල ඉඳපු බ්ලොගී අවසාන බෙල් එක ගහලා “යෝ වද තම් පවරෝ” කියන්නත් කලින් පන්තියෙන් පැන ගත්තා….

 

අවසානය හෙටම…….!

Thursday, September 2, 2010

බ්ලොගී ද ඉන්වෙස්ටිගේටර්ර්ර්ර්!!! | පාර්ට් වන්!

මේ ගැන කාටවත් කියන්නෑ කියලා අපි දිවි හිමියෙන් පොරොන්දු උනා. මේ ගැන කටේ කෙල බින්දුවක් හරි හලන එකීගේ ඇ‍ඟේ හොරි දාලා කසලා මැරෙන්න ඕන කියලා අපි ශාප කරා.. ඒත් ගෑනු ගතිය කියන්නේ මේකට නේ. අනේ මං මේ තියන්න යන කතාව මේ කතාවට සම්බන්ධ කිසිම ජීවියෙක්ගේ ඇස නොගැටේවා… මේ රහස එළි කල සැනින් මගේ ඇ‍ඟේ හොරි දාන්න ගනීවි ඉහි ඉහි.. ඒත් මට බෑ  මේ රහස තවත් හංගන් ඉන්න…….


ඔන්න එහෙනම් මං කිව්වා


බ්ලොගී ද ඉන්වෙස්ටිගේටර්ර්ර්ර්!!!! බ්ගොගී අවසානෙට ගිය ඉස්කෝලේ තිබුන ගැහැනු නේවාසිකා ගාරයක්.. මේක හරිම චාම් සරළ නේවාසිකාගාරයක්.. බ්ලොගීගේ ඉගෙනීමේ උනන්දුවයි නිදා ගැනීමට ඇති අකමැත්තයි බොහොම ඉහල මට්ටමක තිබුන නිසා බ්ලොගී පවුලේ වැඩි හිටියෝ තීරණය කලා බ්ලොගියව මේ නේවාසිකාගාරෙ කොටු කරන්න.. ඉතින් කාලයක් එක්ක බ්ලොගියට නේවාසිකාගාරය හුරු උනා බ්ලොගීගෙම ඩයල් ටිකක් සැට් උනාට පස්සේ. එකම අවුල උදේ 5ට නැඟිටලා පාඩම් කරන සීන එක තමා. ඉතින් මේ නේවාසිකාගාරේ ගැන කියනවා නම් තව පෝස්ට් ගනනාවක් ලියත හැකියි.. ඉතින් ඒ වැඩේ කල්දාලා කියන්න ගිය කතාව කියලා ඉන්නම් කෝ..


මේ නේවාසිකාගාරේ ඉන්නවා උයන පිහන වැඩ වලට අම්මණ්ඩිලා දෙන්නෙක්.. ඒ දෙන්න මතක් වෙද්දි අදටත් බ්ලොගියගේ ඇ‍‍ඟේ මාළු නටනවා. හොස්ටල් එකේ ඉස්සර හිටපු පාලිකාව ගැන කේලම් කියලා මේ දෙන්නා එයාව එළවගෙන කොහොම හරි. මොකාද නැති වලේ මොකද පණ්ඩිතයාලු වගේ පාලිකාවක් නැති හොස්ටල් එකේ මේ දෙන්න තමා මැඩම් ලා උනේ.. ඒකත් අවුලක් නෑ කියමු කෝ. මේ දෙන්නට තවත් කැත පුරුද්දක් තිබුනා. ඒ තමා හොරකම් කිරිම. ළමයි නැති වෙලාවට දෙන්න හොස්ටල් එකට ඇවිත් බඩු හාරවුස්සලා ඔය අහිංසක කෙල්ලෝ ටික ‍තමන්ට කියලා ගෙනත් තියං ඉන්න කිරිපිටි සීනි විතරක් නෙමේ බිස්කට් ටිකත් හොරකං කරන්න තරම් මේ දෙන්නා පුරුදු වෙලා වෙලයි හිටියේ..


ගෙදරින් ඇවිත් ගිය දවසකට අතේ මිටේ ගුලි කරලා යන සල්ලි කීය කීය හරි එකතු කරලා බ්ලොගී ඇන්ඩ් ගැන්සිය කඩේට යන වෙලාවක අයිස් ක්‍රීම් ලීටරයක් ගෙනත් හොස්ටල් එකේ ඉන්න පොඩි උන් ටිකත් එක්ක බෙදාගෙන කන්න පුරුදු වෙලා හිටියා. ඉතින් මේ වගේ වෙලාවකදි අයිස් ක්‍රීම් ඉතුරු උනොත් ඒක හොස්ටල් එකේ ‍ෆ්‍රීජ් එකෙන් තියලා පස්සේ ආයේ බෙදා ගෙන කනවා. ඉතින් ඔය වගේ දවසකදි ඉස්කෝලෙ ඇරලා ඇවිත් බත් කන්දකටත් වග කියලා අයිස්ක්‍රිම් කන්න ලෑස්තිවෙලා ඒක ගේන්න බ්ලොගී ඇන්ඩ් ගැන්සියේම කෙනෙක් යැව්වා වැඩේට. අයිස්ක්‍රීම් බාජනේ ඇරපු ගමන් බ්ලොගීට තේරුනා කලින් දවසේ කාලා ඉතුරු උන ප්‍රමාණයට වඩා දැන් තියෙන ගාන අඩුයි කියලා..


ළමයි නම් කවදා වත් ඔය වගේ කැත වැඩ නොකරන නිසාම බ්ලොගී ගැන්සියේ තව දෙන්නෙක් එක්ක ගියා කුස්සියට පොඩි සර්ච් එකක් දාන්න.. මේ වගේ වැඩ කරන්න ගියාම බ්ලොගිත් එයාගේ වීරයා ෂර්ලොක් හෝම්ස් වගේ තමා ඉතින්… ඒ ගියාම කුස්සියේ අක්කලා එයාලගෙ කාමරේට වෙලා ලී කොට ඉරනවා… සෙරප්පු ගලවලා බ්ලොගි ඇන්ඩ් ගැන්සිය හොර පූසියෝ වගේ කුස්සියේ එ‍හා මෙහා ගියා හෝඩුවාවක් ලැබෙනකල්….


කුස්සියේ අක්කලා වැඩ කරන මේසේ උඩ මොනාහරි දියරයක් තිබුන භාජනයකින් ඇතිවෙච්ච රවුම් සළකුනක් තිබුනා.. ඒ ළඟම ලා කොලපාටට දියර බින්දු කීපයක් හැලිලා.. කකුලේ ඇඟිලි වලින් ඉස්සිලා එතනට ගිය බ්ලොගී අතේ තිබුන අයිස්ක්‍රීම් භාජනේ ඒ පැල්ලම උඩින් තිබ්බා.. හ්ම් අකුරටම ගැලපෙනවා.. එතන තිබුන ඒ දියරය ඇඟිල්ලට අරන් ඉවකරා බ්ලොගී… හ්ම් වැනිලා අයිස්ක්‍රීම් සුවඳම තමයි..  බ්ලොගීලාගේ අයිස්ක්‍රීම් එකෙන් කාලකට වැඩිය වගකියපු උයන අම්මණ්ඩිලා දෙන්නා දැන් හොඳට ගොරව ගොරව සැප නින්දක.. කොහොමත් ඒ දෙන්නව අරහං බ්ලොගිට මේ කරලා තියෙන කැත වැඩේ නිසා තවත් තරහයි…


කෙල්ලනේ වරෙල්ලා.. අපේ අයිස්ක්‍රීම් ටික හොරෙන් කාපු මේ බැරල් අම්මණ්ඩිලාට හොඳ පාඩමක් උගන්නමු…..


බ්ලොගී ගැන්සියේ සාමාජිකයෝ පෙරටු කරගෙන ගැන්සියේ රහස් පොට් එකට ගෑටුවේ මේ දෙන්නට හොඳ පාඩමක් උගන්නලා මිස පස්ස නොබලමී කියන දැඩි අධිෂ්ඨානයෙන්…!!!


බැරල් අම්මණ්ඩිලාට ඉගැන්වූ පාඩම සමඟ කමිං සූන්…….!

Monday, August 30, 2010

බ්ලොගීස් ග්‍රෑන්ඩ් මදර්ර්ර්ර!!

හෆොයි මාසෙට එකක් වත් ලියන්නැති වෙනවා තව ටිකකින්..

මේ ලියන්න යන්නේ මගේ ස්වීට් ස්වීට් ආච්චා ගැන.. ස්වීට් කිව්වට අවුස්සගත්තොත් බඩුම තමා.. කනෙන් ලේ හැලෙනකල් අහගන්න පුළුවන් ලුණු ඇඹුල් ඇතුව. ඉස්සර මං ආච්චා එක්ක වලියක් දාගත්තොත් කෑගහනවා නපුරු ආත්තම්මා! නපුරු ආත්තම්මා!  කියලා.


අපේ ආච්චට ලස්සන නමක් තිබුනත් පුංචි කාලේ ඉඳන්ම ආච්චිට පවුලේ හැමොමයි නෑදෑ පිරිවරයි ආමන්ත්‍රණය කරලා තියෙන්නේ “චාබේ” කියලා . මැලේ බාෂාවෙන්  “චාබේ” කියන්නේ මිරිස් වලට… ඉතින් අපේ ආච්චි පොඩි කාලේ ඉඳන්ම මිරිස් කරල වගේ සැරැයිලු. ඒ නිසයි එයාට ඒ නම වැටිලා තියෙන්නේ.  සමහර අවස්ථාවල අපි උනත් වැඩිය දන්නැති නෑදැයෙක්ට අපේ අනන්්‍යතාවය පැහැදිලි කරන්නේ චාබේ ආච්චිගේ මුණුබුරා/මිනිබිරි කියලා.. එතකොට ඕන යකෙක් අපිව අඳුරා ගන්නවා.


ඉතින් අපේ මේ ෂෝයි ආච්චම්මාත් එක්ක අපි ඔහොම සතුටින් ඉන්න කොට දවසක් අපේ මහගෙදරට අපේ පුංචිගේ නැන්දම්මා ඇතුළු සහපිරිවර නෑගං ආවා.. එයාලා ඉන්නේ කොළඹ.. ඒ වගේම හරිම පොෂ්!! වචන පහක් කතා කරොත් ඉන් වචන තුනහමාරක්ම ඉංගිරීසි තමා.. 
ඒ පවුලේ ආච්චිලා සීයලා අංකල්ලා ඇන්ටිලා, කොටින්ම අළුත උපන් බබා ඇඬුවෙත් ඉංගිරිසියෙන් ..  ඉතින් පොඩි කාලේ බ්ලොගියට ඉංගිරීසි අරහං. බ්ලොගී බයේ හැංගිලා හිටියේ කොයි වෙලේ හරි මේ ආපු ගැන්සියේ පොරක් බ්ලොගී එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න ගනී කියලා. ඉතිං.ඒ දවස් වල බ්ලොගියව ගෙදර අහල පහලියක වත් දැක ගන්න හරි අමාරුයි. හැංගිලා වගේ හිටියේ. බඩගිනි උනොත් විතරක් මීයෙක් වගේ සුරුස් ගාලා කුස්සියට ගිහින් කෑම කාලා ආයේ කාමරේට රිංග ගන්නවා.. 


ඒ පවුලේ ආච්චම්මා නං අඳින්නේ  කොට කලිසම්.. මටයි අයියලටයි නර ලොව හොල්මන් වගේ ඉතින්…!  ඒත් ඉතින් අපිට මොකෝ.. තම තමන්ගේ කැමැත්ත නේ.. ඒ වගේම එයාලා හරි හොඳ මිනිස්සු.. ඉතින් ඔය පොෂ් රොත්තම ටික දවසක් ගෙදර ඉඳලා ගියා කියමුකෝ. දැන් අපේ ගෙදර අයටත් මේ හුළං වැදිලා ටික ටික. හුළං වැදිලා ලෙඩේ තද වෙච්චි පුංචි දාපංකෝ නිතීයක් ළමා ළපටි හැමෝම ඉංග්‍රීසියෙන් කතා කරපන් කියලා.. මළකෙලියයි!!  දැන් මොකෝ කරන්නේ..


අනේ එදා ඉඳන් ගෙදර දෙවනත් කරගෙන හිටුපු අයියලා නංගිලා රොත්ත මීයට පිම්බා වගේ.. ඉඳලා හිටලා කතා කරත් යස් නෝ ඇරෙන්න ඉතුරුවා රහසින් ඇහෙන නෑහෙන ගානට තමා කියවෙන්නේ. කතාව ඒක නෙමේ. අවවාදයට වඩා ආදර්ශය උතුම් නේ.. ඉතින් පුංචි නම් ඉංග්‍රීසියෙන් කතා කිරීම අකුරටම කලා ( හැබැයි එයත් එක්ක කතා කරන්න කවුරුත් හිටියේ නෑ)
මේ නීතිය අපේ අසරණ ආච්චාටත් බළපෑවා. හැබැයි අපිට තරම් නෑ. එයාට සිද්ද උනා කතා කරන වචන අතරින් පතරට හරි ඉංගිරීසි වචනයක් දෙකක් එම්බඩ් කරගන්න. හැබැයි එයා නම් ඒ වැඩේ කැමැත්තෙන් කරේ. ඇයි අප්පා අර ඇවිත් ගිය ආච්චි (පුංචිගේ නැන්දම්ම) දැක්කමඉරිසියා හිතෙනවා නේ. සෝයි කොට කලිසමකුත් දාලා අත් කොට බ්ලවුස් එකක් දාලා ඉංග්‍රීසියෙන් චට පට ගාලා කතා කරන කොට ආසා හිතෙනවා අප්පා අපිටත් එහෙම ඉන්න ඇත්නම් කියලා..


ඔන්න ඉතින් ඔය දවස්වලම දවසක පුරුදු විදියට ගෙදර ලමා ළපටි ටික ඉස්කෝලේ ගිහිනි ඇවිත් ඇඳුමත් මාරු නොකර මූණ (‍නො)සෝදා බත් කන්දට වග කියන්න පටන් ගත්තා.. ‍ මේ අතරේ ආච්චම්මා එයාගේ පරණ යාළුවෙක් එක්ක කතාව.. ඒ යාළුවත් ආච්චිගෙම වයස. නම ඇල්බට් ආච්චි. දැන් දෙන්නගේ කතාව දිගටම යන අතර අපිටත් ඒ කතා ඇහෙනවා..


ඇල්බට් ආච්චි – අනේ අක්කේ බලන්න කෝ මේ දවස් වල පෑවිල්ල. ඇස් ගිනි කනවා නේද


ආච්චම්මා – ඔව් නංගි, මගේ මල් පැල ඔක්කොම මැරිලා . කොච්චර water දැම්මත් වැඩක් නෑ..


ඇල්බට් ආච්චි – රට ඉන්න දූලා ලියුම් එහෙම එව්වද අක්කේ..



ආච්චම්මා – නෑ එයාලා දැන් ලියුම් දාන්නෑනේ. අපේ පොඩි දුවගේ සෙල්ටෙක්(ඒ කාලේ සෙල්ටෙල් නේ තිබුනේ)  එකට තමයි කතා කරන්නේ..

ඇල්බට් ආච්චි –අපේ පුතත් ලියුම් එව්වේ නෑ ගොඩ කාලෙකින්.. දැන් මාසයක් විතර ඇති.



ආච්චම්මා – ඇත්තද? මේ කාලේ තැපැල් climate එකත් එච්චර හොඳ නෑනේ නංගි.

හෆොයි තැපැල් ක්ලයිමේට් එක!!!


භාවිතා කරපු වචන කෙසේ වෙතත් ආච්චි කියන්න අදහස් කරපු දේ කියවුනා මං හිතන්නේ. ..! 

ප.ලි - පසුව කඩු හරඹ ඔස්තාර් පැංචිගෙන් අසා දැන ගත් පරිදි ආච්චි නිවැරදි බව ඔප්පු විය..

Friday, July 30, 2010

බ්ලොගී ඇන්ඩ් ද පැරට් මැන්ගෝ…! පාර්ට් ටූ

හෆොයි පුදන කොටම කාපි යකා වගේ කන කොටම පුදපි ටීචර්..

 

ටීචර්

හහ් මං බලාගෙන හිටියේ..!! එනව මෙහෙට ඔය අඹ ගෙඩියත් අරන්”

කවුද දන්නේ අර කණ්නාඩි පොලු වලට යටින් තිබ්බ ඇස් වලින් අපේ හෝම් වර්ක් බලනවා කියලනේ මම හිතුවේ.. ටීචර බලන් ඉඳලා තියෙන්නේ බ්ලොගී දිහාවේ නොවැ. බ්ලොගීය බාගෙට කාපු අඹ ගෙඩියයි හපා ගත්ත අඹ කෑල්ල කටෙයි තියාගෙන ටීචර් ගාවට ගෑටුවා.. හනේ බුදු ටීචර් මැඩම් ගාවට නම් එක්ක යන්ට එපා..…. හෑ හෑ හෑ.. බ්ලොගී ගේ හිත වැළපෙනවා.. වස ලැජ්ජාවයි..දැන්.

 

දණගහගෙන කනවා ඔය ඉතුරු ටිකත්!! අනික් අයට පේන්න!!

 

ආාාා, ඔය ඇත්තටමද ටීචර්! අනේ මයේ දෙයියා!!උම්මා උම්මා..

බ්ලොගී ටීචර්ට දුන්නා තොත්තු ගොඩක්..හැබැයි හිතෙන්..!! ඇයි අප්පා.. අර ලෝබ කමෙන් පෙරේත කමින් තිස් දෙනෙක් බෙදා ගෙන කන්න හිටි අඹ ගෙඩියම තනියෙන් බ්ලොගීයට කන්න කිව්වම කොහොම හිටීද?

ඉබ්බා වතුරට දානකොට ඇන්නෑවේ කිව්වලු..බ්ලොගියත් හරි බරි ගැහිලා දණ ගහගෙන අඹ ගෙඩියට දෙනවා වැඩේ.. ම්ම්ම්ම්ම…මෙහෙමත් රසක්.. බ්ලොගිය තලු මර මර අඹ කනවා.. ටීචර් පොත් ටික බෙදලා පාඩමකුත් පටන් ගත්තා.. කෙල්ලෝ ටික රවනවා රුවිල්ලක් බ්ලොගියව දියවෙලා යන්න.. හරි වැඩක්නේ මං මොනවා කරාටද?  අඹේ රසට බ්ලොගියට දණගහගෙන ඉන්නවා කියලත් අමතකයි..! දහසක් රුවුම් ගෙරවුම් මැද්දේ දැන් බ්ලොගිය අඹගෙඩියටම වග කියන අතරෙම ඉංගිරීස් පාඩමටත් ඇහුන් කම් දෙනවා.. අඹ කනවා වගේ නෙමෙයි නේ.. පාඩම මිස් උනොත් එහෙම.. දැන් යාළුවෝ ටික ඉන්න තත්වෙට ටීචර් ගියාට පස්සේ පාඩම ගැන අහගන්න ගියොත් මැරුං කන්නයි වෙන්නේ.

අද පාඩමත් හරිම ඉන්ට්‍රස්ටින්ග්..! අපි මොනවා හරි දෙයක් කරන්න කලින් අනිත් අයගෙන් අවසර ගන්නේ කොහොමද?

එක්ස්කියුස් මී! මේ අයි බරෝ යුවර් පෙන් ප්ලීස්!!

මේ අයි ගෝ ටු ද ටොයිලට් ප්ලීස්!!

අඹ ගෙඩියේ රසටමද මන්දා බ්ලොගිට පාඩමත් හොඳට ඔළුවට නැග්ගා.. ඉතින් බ්ලොගිත් ඔළුව වනා වනා පාඩමට ඇහුම්කන් දෙන ගමන් අඹ ගෙඩියේ රස වින්ඳා..

 

ඒ අතරේ ඔහොම කොහොම හරි අඹ ගෙඩිය ඉවර උනා කියමුකෝ දැන් තමා බ්ලොගියට දණගහන් ඉන්ට බැරි අමාරුව මතු උනේ.. අඹ ඇටෙත් අතේ තියාගෙන ඇඹරි ඇඹරි ඉන්න බ්ලොගී දිහාවේ මුළු පන්තියම කිණ්ඩියට වගේ බලං ඉන්නවා..මුංට ඊරිසියාව.. පීරියඩ් එක ඉවර වෙන්න තව පැය භාගයක්ම තියෙනවා. එතකලුත් දණගහගෙන හිටියොත් කලන්තයක්වත් දානවා. දනිස් පොල් කටු ඇදුම් කනවා.. මොකද කරන්නේ කියලා කල්පනා කර කර ඉද්දි බ්ලොගියට අධ්‍යාපනයට අධිපති යැයි සැළකෙන ගණ දෙවි නුවණ පහළ උනා..

ඉංගිරීස් ගුරුතුමී හරිම කැමති කවුරු හරි එයත් එක්ක ඉංගිරිසයෙන් කතා කරනවනම්..

පන්තියේ උනත් ඉංග්‍රීසි වලට වැඩිම ලකුණු ගන්න ළමයාට ටීචර්ගේ හොඳම ගොට්ට වීමේ වාසනාව ලැබෙනවා. ඉතින් බ්ලොගිය හිතුවා ටීචර්ගේ මේ වීක් පොයින්ට් එකෙන් ප්‍රයෝජනයක් ගන්න.. හිරි වැටුන කකුල් දෙක දිග ඇරලා නැඟිට ගත්ත බ්ලොගී අමාරුවෙන් ටීචර් ගාවට ගියා.. ළමයි ටික ඇස් උඩ දාගෙන බලං ඉන්නවා බ්ලොගී මොකද අවසර නැතුව නැගිට්ටේ කියලා. ටීචර්ත් බැලුවා බ්ලොගී දිහාවේ.. හිතට දහිරිය ගත්ත බ්ලොගී ටීචර්ට වැඩ කෑල්ලක් පෙන්නමී කියලා හිතාගෙන එහා පන්තියටත් ඇහෙන්න ටීචර්ගෙන් මෙහෙම ඇහුවා..!

 

එක්ස්කියුස් මී ටීචර්! මේ අයි ත්‍රෝ දිස් අඹ ඇටස් ඇන්ඩ් කම්!!

 

(ඌප්ස් !! කර ගත්ත මෝඩ කමක්!! ටීචර්ගේ මූණ වෙනස් උනා බොහොම දරුණුවට)

 

 යූ ජස්ට් වෙයිට්

 

B..L..O..G..G..Y..YOU..JUST..WAIT!

 

බ්ලොගී ඇන්ඩ් ද පැරට් මැන්ගෝ…! පාර්ට් වන්!

http://www.kickprogram.com/images/sub_colorplate.png

මේ ලියන්නේ මාසෙකට එක පිටුවක් ලියනවාය කියන චෝදනාවෙන් ගැලවෙන්න.. හැබැයි අද ලියන්න යන්නෙත් කලින් පාර වගේම ෆ්ලෑෂ් බැක් ස්ටෝරි එකක්..!

 

මේ සිද්ධිය උනේ බ්ලොගීයගේ පාසල් කාලේ….

ඒ කාලේ බ්ලොගී බදුල්ලේ තිබුන එක්තරා බාලිකා විද්‍යාලයක 7 වසරේ ඉගෙනුම ලබන චූටි පඟර නැට්ටියක්.. දන්නවනේ ළමා කාලයෙයි ටීන් ඒජ් එකෙයි අතර මැද කාලෙ ගෙවෙන ඔය කාලෙට කාගෙ කාගෙත් නැටිලි දැඟලිලි එමටයි නේ.. බ්ලොගියට හිටිය බ්ලොගි ජාතියේ අච්චුවෙන්ම හදපු යෙහෙළියෝ කීප දෙනෙක්.. ඉතිං මේ පඟර නැට්ටියෝ ටික සෙට් උනොත් කොල්ලෝ පරාදයි. කොල්ලෝ නැති ඉස්කෝලේ ඒ අඩුව පුරවන්න ආපේ පන්තියේ කොල්ලෝ උනේ අපි තමා ඉතින්..

 

හරි අපි කතාවට බහිමු කෝ.. ඒ අඹ වාරේ! කොහු අඹද, මී අඹද, ගිරා අඹද ඕනැ අඹ ජාතියක් තියෙනවා ඒ කාලෙට.. දන්නවනේ කෙල්ලො ඔය ඇඹුල් ජාති එක්ක තරහයි කියලා. අනිත් එක අමු කොස් ඇටයක් හම්බ උනත් කන ජාතියේ අමුතු බඩජාරිකමක් නේ තියෙන්නේ ඉස්කෝලේ ඉන්න කොට.. ඉතින් බ්ලොගියගේ පන්තියේ මොන මොන ජාතියේ ඩයල් හිටියත් කෑම කියන විෂයෙදි නම් ඔක්කොමලා එක ජාතියේ තමා.. ඒ වගේම තමා කන වෙලාවට එකමුතු කමත්. වෙරළු ගෙඩියක් කෑවත් පන්තියේ හිටපු තිස්දෙනාම බෙදාගෙන කෑවා.. නිකන් හරි එකෙක්ට බඩජාරි කම වැඩි වෙලා වෙරළු ගෙඩියෙන් ලොකු කෑල්ලක් හපා ගත්තොතින් ඒකගේ බොටුවෙන් හිර කරලා බාගෙට උඟුර මැද්දට ගිය වෙරළු කෑල්ල වමාරවලා අරගෙන ආයේ හෝදල බෙදාගෙන කන්න තරම් දරුණුයි අපේ එකමුතු කම.

 

ඕං ඉතිං එහෙව් වූ බ්ලොගී ගැන්සියේ ක්‍රියා කාරි සාමාජිකාවක් හිටියා දිනූෂා කියලා. බ්ලොගිගේ මැන්ගෝ ෆ්රෙන්ඩ් වෙන මෙයා දවසක් පැරට් මැංගෝ එකක් ගෙනාව පන්තියට. තේරුන්නෑ.?? ගිරා අඹ! ගිරා අඹ! ආං ඒ අඹ ගෙඩියක් ගෙනාවා. මේ අඹ ජාතිය කාපු අය දන්නවා ඇති රස. අමුවෙන් උනත් කන්න පුළුවන් අමුතු රසක් තමා තියෙන්නේ. මේ ගෙනාපු අඹ ගෙඩිය බාගෙට ඉඳිලා. සුව‍‍ඳේ බෑ මුළු පන්තියම.

ඔන්න ඉතින් එක පීරියඩ් එකක් ඉවර වෙලා කට්ටියම සෙට් උනා දිනූෂා වටේට.

ඊළඟ පීරියඩ් එකේ තිබුනේ අපි නොදන්න ඉංගිරීසි. ඉංගිරීසි ටීචර් හරි සැරයි. ඉස්කෝලේ විනය ගැන අපේ විදුහල්පතිනියට වඩා කැක්කුමක් මෙතුමියට තිබුනා..

විනය නීති කඩ කොරලා මේ ටීචර්ට අහුවෙනවට වඩා ගඟක මුදක පැනලා පන නහ ගන්නවා හොඳයි.

ඉතිං එතුමියගේ සංක්‍රමණය වෙන්න කලින් අඹ ගෙඩියේ පොත්තකට හරි වගකියන්න තමා කට්ටියගෙම ප්ලෑන් එක. ඒවා කොහෙද මාත් එක්ක කියලා බෙල් එක ගහන කොටම ඉංගිරීස් ගුරුවරි පන්තියේ.. දැන් ඉතින් මක් කොරන්නද? කට්ටියම විසිරිලා තම තමන්ගේ තැන් වලට ගියා.

ටීචර් පාඩම පටන් ගන්න අතරේ අපේ කෙල්ලො ඇස් වලින් කතාව.. සමහරු රවනවා. සමහරු ඇස් බැමි උඩ දානවා ඇද කරනවා.. සමහරු පාඩමේ ඉන්නවා කියලා පෙන්නන් අසාර්ථක උත්සහයන් වල යෙදෙනවා.. හරියටම බැලුවොත් හැමෝම දිනූෂා‍ගේ බෑග් එකේ ඉන්න ගිරා අඹේ ගාව. දැන් ඇස් වලින් හුවමාරු උන සංඥා වලට අනුව වැඩේ වෙන හැටි මෙහෙමයි. පන්තියේ මැද පේළියේ ඉන්න දිනූෂා අඹ ගෙඩිය අරන් අතින් අතට යවන්න ඕන ඉස්සැරහම පේළියේ එක්කෙනාට. එයා කෑල්ලක් කඩාගෙන අනිත් කෙනාට දෙන්න ඕන. එයා කාලා අනිකාට. ඔහොම පිලිවෙලින් පන්තිමේ අන්තිම පේළිය දක්වා අඹ ගෙඩිය ගමන් කරනවා.. හරි, ඔන්න ඇස් ටෝර්ක් වලට අනුව අඹ ගෙඩිය බෑග් එකෙන් එළයට අරන් පළවෙනි රෝ එකේ පළවෙනියා ගාවට ගියා.. එයා අර බාගෙට ඉඳුන අඹ ගෙඩිය අරගෙන පොතෙන් මුළු මූණම වසන් කරගෙන අඹ ගෙඩිය කටට අරගෙන කෑල්ලක් හැපුවා

 

“කරස්” 

 

ඒත් එක්කම පන්තියේ හැම පේළියෙන්ම තවත් සද්දයක් ඇහෙනවා.. “ගුඩුක්”

 

‍කෙළ ගිලින සද්දේ.. සමහරු අඹ ගෙඩියේ රස දැනිලා වගේ තලු මරනවා.. සමහරු දිවෙන් තොල් තෙමනවා.. දැන්නම් මුළු පන්තියම නොසන්සුන් වෙලා.

දැන් ඉතින් මේ අතර පාඩමත් ගජරාමෙට යනවා කියමුකෝ..එකෙක් වත් පාඩමේ නෑ.හැමොගෙම ඇස් රැඳිලා තියෙන්නේ අර පේළියෙන් පේළියට අතින් අත මාරු වෙන අඹ ගෙඩිය ගාව.. දැන් හිමින් හිමින් අඹ ගෙඩිය බ්ලොගී ගාවටත් ආවාය කියමුකෝ. බ්ලොගී අඹ ගෙඩිය අරන් පියනක් වගේ උඩට අරන්න පුළුවන් ඩෙස්ක් එක ඇරලා ඒ ඇතුළට දැම්මා.. බ්ලොගියට අල්ලපු වැටේ හිටපු එකා සහ අඹ ලෙඩියට කට නොගැසු ඉතුරු පිරිවර බ්ලොගියට අම්බානෙකට රවනවා.. එයාලා‍ගේ ටර්න් එක පරක්කු කරනවාට.

දැන් ටීචර් වාඩිවෙලා කට්ටියගෙම හෝම් වර්ක් බල බලා කරෙක්ෂන්ස් කරනවා.. වැඩි කලබලටක් නැති හැඩයි..බ්ලොගී ඩෙස් එක ඇරලා ගත්තා අඹ ගෙඩිය හෙමිහිට. වහ ගත්තා මූණ පොතෙන්. හිමින් සීරුවේ අඹ ගෙඩිය කට ගාවට ඇරලා පුළුවන් තරම් ලොකුවට කට ඇරලා කෑල්ලක් කඩා ගන්…න ….වා …..!

 

 

ක…. ර ……      බ්ලොගී!!!!  ස්

 

 

 

එනවා ඔය අඹ ගෙඩියත් අරන් ඉස්සැරහට!!!

 

හුටස්!! ටීචර්ට වැඩේ මාට්ටු..! :-(

Wednesday, July 7, 2010

බ්ලොගී ද හාර්ඩ්වෙයාර් ඉංජිනියර්ර්ර්ර්ර්!!!!


computer-repair-engineer-
මේ දවස් වල මොන කරුමයක් ද මන්දා ෆන් සිද්දියක් වෙන්නේම නෑ…ඒත් ඒ කියලා ඩයරිය නොලියා ඉන්නත් බෑනේ….! ඔන්න ඉතින් බ්ලොගී මොනාද ලියන්නේ කියලා පෑන කටේ ගහගෙන බලන් ඉද්දි බ්ලොගී දැක්කා ඉස්සරහ තියෙන රූම් එකේ ස්ටුඩන්ටෙක්(student) මස් කරන ලද කොම්පූටරයක් එකලාසයක් කරන්න මොකද්ද කැඩුන කඩි පැටිය වගේ දලනවා …..! 

ඒත් එක්කම බ්ලොගියගේ හිත ඈත අතීතයේ සිද්ධියකට ඇදී ගියා.. හෝව් හෝව්.. බ්ලොගිය ඉපදිච්ච දවසේ ඉස්පිරිතාලේ පඩි පෙළ ගාවද කට්ටියම ඉන්නේ.. නෑ නෑ මෙහාට එන්න මෙහාට එන්න.. එච්චර දුර යන්න ඕන නෑ..
2007ට විතර ගියාම ඇති… ඔන්න ඒ කාලෙ……………..

ටොයිං ටොයිං ටොයිං ටොයිං 

හරි කට්ටියම උඩ බලන්න ඔන්න ස්ක්රීන් එක බොඳ වෙලා කැරකෙනවා.. ෆ්ලැෂ් බැක් එකකට යන්නයි යන්නේ…..
ඒ කාලේ බ්ලොගි කලින් වැඩ කරපු කොම්පැණියේ ෆ්‍රී ලාන්සර් කෙනෙක.. අර පඩි නැතුව පිනට…. දන්නවනේ…

මේ කොම්පැණිය ගැන නොදන්න අය මේං මේක කියව ගන්න කෝ…. මේ කියන කොම්පැණියේ ඉස්සර නොකෙරිච්ච IT පාඩමක් නෑ…අරකද මේකද.. අරකද මේකද ඔක්කොම ජාති කෙරුනා.. කඩු හරඹ පන්තියකුත් මහ පරිමාණෙන් කෙරුනා.. ඉතින් වැඩේ හොඳ නිසාම IT ඉගෙන ගන්න එන ළමයි එහෙම ඉංගිරීසිත් ඉගෙන ගන්නවා වැඩි හොඳට..බ්ලොගිය වැඩට යන්න ගත්ත මුල් කාලේ නිසා professional කියන එන ගැන හාංනවිසියක්වත් දැනං හිටියේ නෑ.. හිටි ගමන් ඩෙනිම් පිනපෝවක් ඇඳගෙනත් වැඩට ගියා බ්ලොගිය… දැන්නම් මතක් වෙද්දි දිව හපාගෙන මැරෙන්න තරමේ ලැජ්ජාවක් එනවා… ඉතිං අර ඉංගිරීසි පන්තියට එන කොල්ලො කුරුට්ටන්ට ලොකු ප්‍රස්නයක් උනා බ්ලොගී මේ කොම්පැණියේ මොන පෝස්ට් එකේද ඉන්නේ කියන එක.. පෝස්ට් එක නොදන්න සමහරුන්ගෙන් බ්ලොගීට යන එන කොට සූ පාරක් විසිල් පාරක් එහෙමත් වැදුනා.. පසු කාලෙක දැන ගත් පරිදි මේ වඳුරු රැළ බ්ලොගියට ‘ජපන්’ කියලා නමකුත් පට බැඳලා තිබිලා තියෙනවා.. 

ඒකාලේ ලැබ් එකේ තිබුන හොඳම මැසිමේ කන්‍ෆිගරේෂන් ගැන කියනවනම් පී–හතරයි, 256 මතකෙයි..2.68 වේගෙයි, 64VGA 80GB හාර්ඩ්(ඔච්චරයි දන්නේ) මේ මැසිං දෙකේ තමා ඔය ත්‍රීඩි මැක්ස් , මායා වගේ බර වැඩි සොට්ටෙයා දාලා තිබුනේ…… ඒ කාලේ අපේ උගන්නන ඈයෝ ඔය මැසින් දෙකට වැඳලා එහෙම තමා වැඩ පටන් ගන්නේ. 

ඉතිං එහෙව් වූ මැසිමකට දවසක් ෂෝට් ටයිම් මෙමරි ලොස් වගේ ලෙඩක් හැදිලා..  එදා 3d max class එකකුත් කෙරෙන්නට නියමිත දවසක්.. ඉතින් 3d max ගුරුන්නාන්සේ ළමයි එන්න කලින් මැසිමෙ කේසින් එක අයින් කරලා තියලා පොඩ්ඩකට එහාට ගිහින් තියෙන්නේ හාඩ්වෙයාර් ගුරුන්නාන්සේ ඇවිත් මැසිමට බෙහෙත් දානකල්.. ඔය අතරේ බ්ලොගිය ඔතනින් යන්න ගියේ වෙන වැඩකට.. ඉතිං පඩිත් නැතුව නිකන් වැඩ කරනේ එකේ සාස්තරේ ඉගෙන ගත්තට පාඩුවක් නෑ කියන එක බ්ලොගියගේ ඔළුවේ නිතරම වැඩ කරපු තියරියක්…
අනික් පැත්ත ගැහිච්ච කැරපොත්තෙක් වගේ බඩවැල් එළියේ දාගෙන හිටපු කොම්පූටරේ දැකපු බ්ලොගියට හිතුන ඩිංගක් මේ අත්භූත අරුම පුදුම යන්තරේ ගැන අධ්‍යනයක් කරන්න. ළඟම එක එක සයිස් එකේ ස්ක්රූ ඩ්‍රයිවර් වගයකුත් තියෙනවා.. පොඩි බ්‍රෂ් දෙකකුත් තියෙනවා.. ඒ අතරින් ලොකුම ස්ක්රූ ඩ්‍රයිවරේ තෝර ගත්ත බ්ලොගි අර කොම්පූටරේ හොඳට හයි වෙලා තිබුන ඇණ තව ටිකක් තද කරන්න ගත්තා.. නට් බුරුල් කියන ලෙඩේ තිබුනනම් සනීප වෙන්නැතෑයි. 

මේ අතර අර 3d max class ක්ලාස් එකේ ළමයෙකුත් ලැබ් එක පැත්තට ගාටලා තියෙනවා.. පන්තියට ඇතුල් වෙන දොර ගාවම ළමයට නිවුස් එක ලැබිලා මැසිමට ලෙඩ ඒ හාඩ්වෙයාර් ගුරුන්නාන්සේ මැසිම හදන නිසා ක්ලාස් පටන් ගන්න වෙලා යයි කියලා.. හා තව දෙයක්… මේ ළමයා අර ඉංගිරීස් පන්තියේ රිළා මොටාලාගේ ගැන්සියේ සාඩම්බර සාමාජිකයෙක්… ඉතිං ඔය ළමයා ලැබ් එකට ඇවිත් වාඩි උනාය කියමුකෝ…  තමන් වෙනදට යස අගේට වැඩ කරන කොම්පූටර් පොඩ්ඩට වෙලා තියෙන හදිය ගැන මතක් වෙච්ච ළමයා ඔළුව උස්සලා අර මැසිම තිබ්බ ඉසව්ව බලලා තියෙනවා…. 

අප්පට උඩු.. ළමයාට මංඤ්ඤං… ළමයා දකිනවා බ්ලොගියා දාඩිය දාගෙන දිවත් හපාගෙන මැසිම රෙපෙයාර් කරනවා…ඇණ ගලවනවා හයි කරනවා..දූවිලි පිහදානවා.. වැඩ ගොඩයි.. දැන් ළමයා හිතන්නේ මොකද්ද.. “හෆොයි! අපි මෙච්චර කල් කිසිම ගරු සරුවක් නැතුව විහිළු කරලා තියෙන්නේ මේ ආයතකයේ හාඩ්වෙයා ඉංජිනියර් තුමියට නේද?” ඉඳලා හමාරයි.. දැන් වැඩේ යන අතර බ්ලොගියටත් තේරුනා කවුරු හරි තමන් දිහාවේ කන්න වගේ බලන් ඉන්නවා කියලා..බැලින්නම් රිලා මොටා ගැන්සියේ පොරක් ඉන්නවා හොල්මනක් දැක්කා වගේ බලා ගෙන… හා වරෙන් පුතේ..අද තනියම නේද උඹ…ගර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්…! බ්ලොගියත් ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන අර ළමයාට හොඳ හැටි රුව්වා….ළමය නිකන් මීයට පිම්බ වගේ… නෝ සත්තම්.. සාන්ත දාන්ත කීකරු බව් පැටිය වගේ ඉන්නව නේද පුටුවටම වෙලා… හැබැයි බ්ලොගිය දන්නෑ ළමය හිතුවේ මොනාද කියලා.. බ්ලොගී හිතන් ඉන්නේ මේ අද ගැන්සිය නැතිව තනි‍යම ඉන්න නිසා ළමයගේ සද්දේ අඩුයි කියලා…
ඉතිං ඔහොම දවස ගෙවුනයි කියමුකෝ… පස්සේ දැනගත් හැටියට කොම්පූටරේ හදන්න ආපු මනුස්සයට වැඩේ ගොඩක් අමාරු උනා කියලයි ආරන්චිය…. මිනිහ වැඩබැරි දාස කෙනෙක් මගේ හිතේ… 

ඉතිං ඊට පස්සේ ඉංගිරීසි ක්ලාස් එක පැත්තෙන් බ්ලොගිය යන කොට කෑ ගගහා ඉන්න ළමයි පුදුම විදියට නිශ්ශබ්ද වෙනවා.. ආයෙ මීක් ගාලා සද්දයක් නෑ…බ්ලොගී යන පාරෙන් ළමයි හිටියොත් දෙපැත්තට වෙලා යන්න ඉඩ දෙනවා.. හරි හොඳ ළමයි ටික අප්පා…බ්ලොගීටත් හිතා ගන්න බෑ වෙනසට හේතුව …

ටොයිං ටොයිං ටොයිං ටොයිං  නැවතත් වර්තමානයට.. ඉතිං ඊට පස්සේ බ්ලොගී බොහොම සතුටින් වාසය කලා…

ප.ලි – මේ කතාව බ්ලොගී දැන ගත්තේ සිද්ධියෙන් අවුරුදු දෙකකට විතර පස්සේ මේ කොම්පැණියටම ‍ෆ්‍රීලාන්සර් වෙලා ආපු අර ඉහත සඳහන් ළමයා ගෙන්.. දැන් බ්ලොගියි ඒ ළමයයි මැන්ගෝ ‍‍friends ලා……

Sunday, June 13, 2010

නිකොබාර් භූමි කම්පාව හා බ්ලොගී !

ගෙදරට අන්තර්ජාලේ ගත්ත දා ඉඳලා බ්ලොගී නිදියන්නේ මහ රෑ 12ට හෝ පාන්දර ජාමෙට.... උදේ 7.15විතර වෙනකල් හොඳට නිදාගෙන පරක්කු වෙලා වැඩට දුවන එක දැන් බ්ලොගීගේ පුරුද්දක්.... මේ අද පාන්දර වෙච්චි හුට පටයක්...!
බ්ලොගීට කලින් බ්ලොගීගේ නගා ජාලේ අත්පත් කර ගත්ත හන්දා බ්ලොගියට සිද්ධ උනා දත කට වහගෙන නිදා ගන්න.... ඒත් ඉතිං නංගි කී බෝර්ඩ් එකට තඩිබාන සද්දෙටයි පරණ කොම්පූටරේ හෝ ගාන සද්දෙටයි...... තව පැයකටවත් නින්ද යනවනම් බොරු...! 
දැන් ඔයාලා බලයි ඇයි අපේ නගා කී බෝර්ඩ් එකට තඩිබාන්නේ කියලා.. ඒක නම් වෙන බ්ලොගක් ලියන්නම වටින සිද්ධිය..! මගේ පරණ කොම්පූටරේ වර්තමාන හිමි කරු තමා නංගි... මුලදි බ්ලොගියගේ ලැප්ටොප් එකට නංගිගෙන් විසුමක් නැති හින්දා බ්ලොගිය පරණ කොම්පූටර් මරදානේ නංගිගේ කරේ ගැහුව... ඒක බාරදෙද්දි නංගිට පොඩි ඇඩ් එකකුත් දැම්මා


" නංගි, මේ අද මම ඔයාට භාර දෙන්නේ මගේ පණ! මගේ ඇස් දෙක!"
(යටි හිතෙන් - "හප්පා මළ මඟුලෙන් මං නිදහස්! )

"මේ අවුරුදු හතරට මේ කොම්පූටරේ මට කිසි වදයක් දුන්නෑ!"
(යටි හිතෙන් - "අනේ මගේ කට! උඹ මට දුන්න තරම් වදයක් මගේ හතුරෙක් වත් මට දීලා නැතුව ඇති"!)

"මේක මම බලාගත්තේ මගේ ඇස් දෙක වගේ!"
(කවුරු හරි තමංගේ ඇස් දෙක ඇස් කුහර වලින් උගුලලා එළියට අරන් සපත්තු පොළිෂ් කරන බ්‍රෂ් එකෙන් පොලිෂ් කරලා තියෙනවද? හික්)

"ඉතිං ඔයත් ඒවගේම මේක බලාගනී කියලා මම හිතනවා!"
(නංගි මට නියවනවා! මං කොම්පූටරේ බලා ගත්ත හැටි එයා නොදන්වැයි!)

හහ්! නංගි ගස්සගෙන ගියා...! 

"ආයේ ලැප්ටොප් එක එහෙම අතපත ගානව එහෙම නෙමෙයි"  නංගි ටිකක් එහාට යන කල් ඉඳලා මම ඇහෙන නෑහෙන තරමට පොඩි ගර්ජනාවකුත් දැම්මා...! වැඩිය සද්ද දාන්නත් බෑ.. හෙට ඉඳං උයන එකවත් වර්ජනය කරොත් මං ඉවරයි...!

පරණ  කොම්පූටරේ මීයාගේ ලෙෆ්ට් බට්න් එක වැඩ කරන්නෑ. ඉතිං පැත්ත මාරු කරලා තමයි පාවිච්චි කරන්නේ...!රයිට් ක්ලික් ඕන නම් කීබෝඩ් එකේ පිහිට තමයි...! කීබෝඩ් එක ඊට හපන් !කී එකකින් ටයිප් වෙන්න ඒ කී එක උඩ හිට ගන්න තමා වෙන්නේ...!ඉතිං ඕක තමා නංගි කී බෝඩ් එකට තඩි බෑමේ රහස...!

ඕං ඉතින් පීලි පැන්නා ... කියන්න ආවේ මේ කතාව නෙමෙයි නේ...! 

ඉතිං ඔන්න බ්ලොගී මර නින්දට පාත්‍ර උනාය කියමුකෝ....! මෙන්න බොලේ නංගියි අයියයි බෙරිහන් දෙනවා මොනාද කිය කියා...! අර 20 20 මැච් වල චාමර කපුගෙදර අන්තිම බෝලෙට හයේ පාරක් ගහලා නූලෙන් පරදින්න හිටපු ලංකාව බේර ගත්ත වෙලාවෙත් නංගි බෙරිහන් දුන්නේ ඒ වගේ...!

"මොනාද මනුස්සයෝ... මිනිහෙකුට නිදහසේ නිදාගන්න දෙනවකෝ! කෑගහන්නේ! ඔයාලට නම් මොකද මම එපැයි උදේම නැඟිටලා වැඩට යන්න".. මාත් ඊට හයියෙන් බෙරිහන් දුන්නා...! 

ඒත් මේ දෙන්නා නෙමේ නතර කරන්නේ විලාපේ...! මං කොට්ටේ අරං කන් දෙක වැහෙන්න ඔළුවට තියලා තද කර ගත්තා...! 

මෙන්න බොලේ ඒ පාර නංගි ඇවිත් ඇඳ විට්ටමෙන්ද කොහෙද ඇදලා ඇඳ හොල්ලනවා..දඩ බඩ දඩ බඩ ගාලා...!  හප්පට සිරි.. මේ හාල්මැස්සිට කොහෙන්ද මෙච්චර පවර් එකක්! "දෙන්නම් ජම්බෝ....අද  උඹ ඉවරයි නංගී බබෝ" කියලා කොට්ටෙත් උස්සගෙන  බ්ලොගී ඔළුව උස්සලා බැලුවේ නංගිට pillow punch එකක් දෙන්න...
හෑහ් කෝ බොල නංගි.. නංගි නෑ ඇඳ ඉබේම හෙලවෙනවා...
බුදු අම්මෝ ‍......හ්...!  හොල්මන්! හොල්මන්! ඇඳ ඉබේම හෙලවෙනෝ....! 

බ්ලොගීට හීන් දාඩිය දැම්මා...! බ්ලොගී කොට්ටේ කොනක් හපා ගත්තේ මේ මොන විජ්ජුම්බරයක්ද කියලා හිතා ගන්න බැරුව...!
මොහොතකින් සියලු දේ නිසල උනා...! කෝ මේ දෙන්නා! බ්ලොගී අයියවයි නංගිවයි හෙව්වා..! අනේ මෙහෙමත් සහෝදරයෝ...මං මැරෙන්න දාලා දෙන්න දුවල අනිත් කාමරෙට. දෙන්න එනවා කාමරේට හිමිජ්ජො දෙන්න වගේ...! 
"හා...ඇයි දෙන්න බය වෙලා වගේ.... මොකද කෑ ගැහුවේ"... මං ඇහුවේ නළලේ තිබ්බ දාඩිය ටික දෙන්න දකින්න කලින් පිහිද ගන්න ගමන්...
"භූමි කම්පාවක් ඕයි භූමි කම්පාවක්! හම්මේ ‍" "මගේ කකුල් දෙකත් පණ නෑ" නංගි විලාප දෙනව... 

"ආාාාාාා. ඒකට ඔය තරම් බය වෙන්න ඕනයෑ.  මට නම් ගානක් දැනුනේ වත් නෑ.."  බ්ලොගී ආයෙත් හරි බරි ගැහුනේ නිදා ගන්න...! බ්ලොගී බය වෙච්චි තරම දෙයියෝ දනී...! තව ටිකක් භූමි කම්පාව continue උනා නම් උදේට වැඩට යන එක පැත්තකින් තියලා බ්ලොගීට සිද්ධ වෙන්නේ නිදා ගත්ත කොට්ට මෙට්ට ටික හෝදලා අව්වට දාන්න...! 

හිකිස්!!!!!!!

Tuesday, May 25, 2010

තව වෙන මොනවද?

 

Lappy

හරි දැන් කියන්න බලමු ඔයාලා දන්නවද බ්ලොගීට දැන් අළුත් යාළුවෙක් ඉන්නවය කියලා. නෑනේ. එහෙනම් ඔන්න දැන ගන්න බ්ලොගිගේ අළුත් යාළුවගේ නම Sony Vaio  VGN-CR520E මේ ඉන්නේ එයා. මගේ පණත් හරි එයත් හරි. හැමවෙලේම බ්ලොගීගේ උකුලේ නැළවි නැළවි තමා ඉන්නේ. මෙයා බ්ලොගී ගාවට ආවේ බ්ලොගීගේ ආදරණීය අයියාගේ ආදරණීය තෑග්ගක් විදියට. දැන් බ්ලොගී හරි හරියට බ්ලොග් ලියන්නෙත් මෙයාට පින් සිද්ද වෙන්න තමා. හරි හරි ඔය ඇති.

දැන් අනිත් නිවුස් එක. බ්ලොගී ගෙදරට අන්තර්ජාලේ ගත්තා. හුරේ……!.! ඔපිසියේ කොච්චර නම් ජාලේ තිබ්බත් ගෙදර තියෙනවා වගේ නෑනේ. ෆිල්ම් එකක් බාගන්නත් සතියක් විතර යනවා. ඇයි ඉතිං හොරෙන් එපැයි ඒ වැ‍ඩෙත් කරන්න. දැන් එහෙම නෑ. බ්ලොගී ජංජාලේ පීන පීන නානවා. බයිස්කෝප් අඩවියට පින් සිද්ද වෙන්න ඕන් රවුටරේ හැමවෙලේම ගිනි අරන් වගේ තමා. හදිස්සියකට ගෑස් ඉවර උනොත් රවුටරේ උඩට බිත්තරයක් එහෙම කඩලා දාලා බැද ගන්න උනත් පුළුවන්.

OK! දැනට බයිලා එච්චරයි. රස කතාවකින් හෙට අනිද්දම හමුවෙමු.

Sunday, May 23, 2010

බ්ලොග් ලිවිම සහ තවත් පුරුදු

බ්ලොගී අනිත් අය වගේම මුලදි බ්ලොග්  ලිවිල්ල පටන් ගත්තේ හරිම උනන්දුවෙන් නොවැ?උනන්දුව කොච්චරද කියනවනම් බ්ලොගී කියලා නමකුත් ඈදා ගත්තානේ. ඒත් දැන් කාටත් පේනවා ඇතිනේ බ්ලොගීගේ බ්ලොග් ලිවිල්ල. ඇද ඇද බ්රේක් ගගහා යන හැටි.

ඔය වගේම තමා යාළුවනේ බ්ලොගීගේ තවත් සමහර පුරුදු. 2010 අවුරුද්ද පටන් ගත්න ඔන්න මෙන්න තියෙද්දී බ්ලොගීට හැබෑම ඩයරියක් ලියන්න පුදුම උණක් තිබ්බා. ඉතිං බ්ලොගී ඔය දන්න කියන හැමෝටම කන්කෙඳිරි ගෑවා තමන්ට ඩයරියක් හොයා දෙන්න කියලා. ඔහොම කොහො හරි ඩයරියක් හොයා ගත්තාය කියමුකෝ. ජනවාරි ලිවුවා. පෙබරවාරි මුල් සතියෙ ලිවුවා. අනේ දැන් ඒ ඩයරිය ආගිය අතක් නැහැ. ඩයරිය ගෙනත් දුන් පුද්ගලයා මේ සටහන නොදකිත්වා.

මේ ළඟකදි ඉඳලා බ්ලොගිට තවත් උණක් හැදුනා. ඒ තමා සුවදායී ක්‍රියාශීලී දිවි පැවැත්මක් සඳහා යෝග ව්‍යායාම කිරීම. ඔය උවමනාව ආපු කාලේ බ්ලොගී අවස්ථාවට ගැළපෙන ඇදුම්ද , Relaxing Music clips ද, Yoga for beginners videos ද මහ ගොඩක් එකතු කරන් වැඩේට බැස්සාය කියමුකෝ! පටන් ගත්ත කාලේ දවසට පැයයි! දවසින් දවස ගත වෙද්දි පැය, පැය භාගේ වෙලා , පැය කාල දක්වා අඩුවෙන්න ගත්තා. දැන්නම් බ්ලොගී ව්‍යායාම කොරන්නේ බඩ වැඩී කියලා හිතුන විනාඩියට විතරමයි. හිහ් හිහ්!

හනේ මන්දා, හුස්ම ගන්න එකත් Auto වෙන හින්දා හොඳයි. නැත්නම් ඒකත් නැවතිලා ගොඩක් කල්. මේ තත්වය මට විතරක්මද අනික් අයටත් පොදුයිද? දෙයියෝ දනී!!!

ඔන්න මම ලිව්වා!

හා හා හා! හරි මම දන්නවා. මාස පහක් කියන්නේ ලොකු කාලයක්! ඩයරියෙ මාස පහක පිටු හිස්! එහෙනම් මොකටද ඩයරියක්? ඔව් ඒකත් හරි. මම පිළිගන්නවා. ඔහොම කරන එක හරිද මම අහන්නේ? නැහැ එහෙම කරන එක කොහෙත්ම හොඳ නැහැ. එහෙනම් ඇයි එහෙම වෙන්නේ? කවුද දන්නේ? මොනවා කියලා කරන්නද? අනේ මට ලියන්න ඕන. ඉතිං ලියන්න මගේ මොකෝ! ඔයා කියවනව නේද? බලමු ! හිතුනොත් කියවන්නම්! අනේ එහෙම කියන්න එපා. එහෙම නොකියා කොහොමද ඔයා කරන වැඩ වලට. හරි හරි කියවන්න හරි නොකියවන්න හරි ඔන්න මම ලිව්වා!

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails