Monday, January 10, 2011

බ්ලොගී දුටු වෙඩිම හෙවත් පැංචිගේ මඟුල සහ තවත් කතා…….!

ජනවාරි 1 – තවත් එක අවුරුද්දක්! ඉස්සර කොම්පැණියෙ නම් පළවෙණිදට නිවාඩු. ඒත් දැන් ඔපිසියේ ඒවා බෑ. ඒ හන්දාම උදේ පාන්දර 7.30ට නැඟිටලා බැරි මරගාතේ වැඩට යන්න ලෑස්ති උනා. මොන කරුමකට නිදි මැරුවද කියලා හිතුනා කලින් දවසේ රෑ. යන්තම් 12 වෙනකල් ඉඳලා පැත්තක නිදාගෙන හිටිය අම්මට සුභ අලුත් අවුරුද්දක් කියලා හාද්දක් දුන්නම අම්මා චටස් ගාලා මගේ කම්මුලට තැලුවේ මදුරුවෙක් කනට කොඳුරනව කියලා හිතලද කොහෙද. අවුරුද්දම සුභයි. හෙට උදේම මට කොස්සෙන් තලා ගන්න ඕන කියලා හිතාගෙන මාත් අනික් අතට හැරිලා නිදා ගත්තා.


ජනවාරි 2 – මේ අවුරුද්දේ ඉඳන් අනුගමනය කල යුතු හොඳ පුරුදු කියලා මම හදා ගත්තු ලැයිස්තුව නැති වෙලා. අනේ වාසනාවන්. කාටද පුළුවන් උදේම නැඟිටලා යෝගා කරලා රෑට දත් මැදලා නිදා ගන්න. ඔන්න ඔහේ මේ අවුරුද්දත් පරණ විදියටම ඉඳලා දානවා..


ජනවාරි 3 – සුපුරුදු ලෙස වැඩට යනකොට විනාඩි 15ක් පරක්කුයි.. ඇති යන්තම් මම පරණ විදියටම හුරු වෙනවා ටිකෙන් ටික.


ජනවාරි 4 – වැස්ස වැස්ස වැස්ස. උදේ නැඟිටින කොටත් වැඩට යද්දිත් වැඩඇරිලා ගෙද එද්දිත් රෑට නිදාගනිද්දිත් වැස්ස. පොඩි කාලෙනම් පරිසර පාඩමට අපට කියලා දුන්නේ ගස් කැපුවම වැස්ස නැති වෙලා නියඟ ඇති වෙනවා කියලා. මොන මෝඩ කතාවක්ද? බලන් ඉද්දි මිනිස්සු ගස් කපලා පොලව සමතලා කරනවා දවසින් දවස. මේ වහින්නේ යස අගේට. අනේ මන්දා දැන්වත් මේ විෂය නිර්දේශ මාරු කරා නම් හොඳයි.

ජනවාරි 5 – හෙට පැංචිගේ මඟුලෙ යන්නත් ඕනා. මඟුලකට යනවා කියන්නෙත් දැන් කාලේ මඟුලක් කරනවා තරම්ම බැරෑරුම් වැඩක්. ඇඳුම් කැඩුම් සෙරෙප්පු බෙරෙප්පු අතපයට කනකර තෑගිබෝග යානවාහන කොච්චර වියහියදම්ද අප්පා..
හැබැයි ඔය බරෙන් බාගයක් නිදහස් කරන්න පුළුවන් ක්‍රමයකුත් මං හොයා ගත්තා.
ඕං බලන්න කෝ..
ඇඳුම් කැඩුම් සෙරෙප්පු බෙරෙප්පු අතපයට කනකර තෑගිබෝග යානවාහන කොච්චර වියහියදම්ද ? ඔය බලන්නකො ඉතින්. කොච්චර දේවල් අඩුකරගත්තද මම! හරිම සිම්පල් ප්ලෑනක්!!


ජනවාරි 6 – යංතම් දවස් ගානක් තිස්සේ ඉඳලා ලෑස්ති වෙච්චි දවස උදා උනා.  මහා පාන්දර 9ට මායි ඔපිසියේ තව මිතුරියකුත් එක්ක බදුළු පුරවරේට ගියා. බියුටි කචල් ඇන්ටි කෙනෙක් ගාවට ගිහින් ඇස්බැමි උගුල්ල ගත්තා ජීවිතේ පලවෙනි වතාවට.  බ්ලොගීගේ උගුල්ලපු නැති තඩි ඇස්බැමි නිසා බ්ලොගීට පැංචි නමකුත් දාලා තිබුනා grizzly bear කියලා. ඉතින් පැංචිගේ මඟුල අස්සේ දෙනෝ දාහක් ඉස්සරහ පැංචි බ්ලොගීට ඔය නමෙන් කතා කරොත්වත් කියලා තමා බ්ලොගී බියුටි කචල් ඇන්ටිඅක්ක කෙනෙක් ගාවට ගියේ. ඇන්ටිඅක්කත් නූල් කෑල්ලක් ඇහි බැමේ අඹරවලා වැඩේ කරන්න පටන් ගත්තා. බුජු හප්පේ… ඒ වගේ වේදනාවක් නම් මේ ලෝකෙ සත්වයෙක්ට එන්න එපා කියලා බ්ලොගී හිත යටින් ප්‍රාර්ථනා කරන ගමන් දත් මිටි කාගෙන බියුටි ඇන්ටිට ඇස්බැමි උගුල්ලන්ට ඉඩ ඇරියා..  දැන් බ්ලොගීගේ ඇස් වලින් දිගට හරහට කඳුළු බේරෙනවා. කඳුළු බේරෙද්දි ඒ වැඩේ කරන්න අපහසු නිසා බ්ලොගී ඇන්ටි අක්කගෙන් ටිෂු කෑල්ලක් ඉල්ලුවා. කඳුළු පිහදාන්නවත් වෙලාවක් නැති නිසා වේදනාව ඉවසගන්න බැරිව බ්ලොගී ටිෂු කෑල්ල ගුලිකරලා හපාගත්තා. මහ අජූත සුවඳක් එක්ක ලුණු මිශ්‍ර කුප්පමේනියා රසක් ඒ ටිෂු කෑල්ලෙන් බ්ලොගීට දැනුනා. හර්බල් ටිෂු එකක් වෙන්ට ඇති. ඇස් අරින්න බැරි හන්දා බ්ලොගී හිතුවා. ඇස් ඇරලා බලද්දි බ්ලොගිත් දේදුනු වන් ඇස් බැමි යුවලක හිමිකාරියක් වෙලා. වින්ද වේදනාව කොහෙන් ගියාද දන්නෑ. බ්ලොගී ඇස් බැමි නටවලා කණ්නාඩියෙන් බලන් ඉඳ්දි ඇන්ටි අක්කා කියපි “නංගි මගේ ලේන්සුව දෙනවද” කියලා. හත්වලාමයි! බ්ලොගී මෙච්චර වෙලා හපාගෙන ඉඳලා තියෙන්නේ ඇන්ටි අක්කගේ හොටු ලේන්සුව.

හදිසියේ ඇති වෙච්ච ඔක්කාර තත්වයට කට අතින් වහගෙන බාත්රෑම් එකට දුවද්දි
“ආනේ සුභ ආරංචියක් වත්ද?”  ඇන්ටි අක්ක මගේ යාළුවාගෙන් අහපි..
ජනවාරි 07 – ඊයේ මුළු දවසම පැංචි‍ගේ මංගල්ලෙටම හරි. ගොඩාක් කට්ටිය හිටියත් දැක ප්‍රිය උපදවන්න පුළුවන් ජාතියේ කවුරුත් නොහිටි එකයි මටයි මගේ යාළුවටයි තිබුන දුක. කාලෙකින් පරණ කොම්පැණියේ යාළුවෝ ටිකත් එක්ක විනෝදෙන් හිටියා. ඒ අස්සේ පැංචිගෙත් මගෙත් හොඳම යාළුවෙකුත් හිටියා. ඉතින් කෑම වෙලාව ලං වෙලා ඒ අක්කා මාවත් ඇදගෙන බුෆේ මේසේ ගාවට දිව්වා.
අනේ මාත් එක්ක මේ කේක් ටික බෙදපං නංගි
අනේ ඉතින් ඒ ඉල්ලීම අහක දාන්න බැරි හන්දා මාත් බත් බෙදාගෙන එන ඈයන්ට පනාව දාගෙන කේක් බෙදුවා. මිනිස්සු උඩින් කොයි විදියට හිටියත් එයාලගේ ඇතුලාන්තය කොයි වගේද කියලා දැන ගන්න තිබුන හොඳ විදියක් තමා කෑම මේසෙ. පිළිවෙලට කෑම ටික බෙදාගෙන එන පෝළිම ඉවර වෙන්නේ කේක් බෙදන තැනින්. එතනම තියෙනවා පපඩම් දීසිය. දන්නවනේ ඉතින් මඟුල් ගෙවල් වල පපඩම්. හෙන ලොකුයිනේ ඉතින්. පපඩම් පිගානෙටත් කවුද තේ හැන්දක් තියලා. අනේ අර පෝලිමේ එන එක එක්කෙනා අර තේ හැන්දෙන් පපඩම් බෙදාගන්න කරන උත්සහය දැකලා බ්ලොගීට හතර හිනා. සමහරු නම් ඉතින් මොලේ ඇතිව පපඩම අතෙන් බෙදාගෙන ගියා. පපඩම තේ හැන්දට අලයින් කරගෙන පිඟානට ගේන ටිකට හුළගක් ඇවිත් පපඩම පිඟානට වැටෙනවා. හහ්! ඒත් සුද්දා කියලා තියෙන්නේ ට්‍රයි ඇන්ඩ් ට්‍රයි කියලලුනේ…



ජනවාරි 08 – අද බ්ලොගීගේ නිවාඩුව… ලියන්ට ඇත්තේ එකම දෙයයි..
නින්ද තරම් මිනිසා සුවපත් කරන දෙයක් මෙලොවෙහි තවත් ඇත්ද?

25 comments:

  1. මට දැනගන්න ඕනෙ බ්ලොගියෝ ලුණු මිශ්‍ර කුප්පමේනියා රස කලින් දන්නෙ කොහොමද කියලා....

    ReplyDelete
  2. වැඩිය කථානොකරන මේ දරුවාගේ හිත මොන තරම් දොඩමලුද...!!!
    සිත පුරා රස වින්දෙමි..

    ReplyDelete
  3. තව දවස් දෙකක ඒවා අඩුයි ෆාවෝ.......... :D

    තිස්ස අයියා දරුවා කිව්වට අපිට ඉතිං එහෙම කියන්න බෑනේ....:D

    ReplyDelete
  4. ජොලිම කැල්ල තමා අර බාත‍්රුම් එකට දුවන කොට කට්ට්ය අහපු එක..ලස්සනට ලියල..ඒව මේව වැඩක් නැ කවද්ද දැන් ඔය දෙන්නගෙන් කේක් කැල්ලක් අපි කන්නෙ..අපේ share එකත් ibuntu එකට courier කරන්ඩො

    ReplyDelete
  5. ඔන්න මම නම් කියෙව්වේ නෑ ඩයරිය...
    හිකිස්.....

    ReplyDelete
  6. අනේ මෙහෙමත් විචිත්‍රවත් සතියක්..!!! මරු අප්පා..!! :D :D
    අර “නංගි මගේ ලේන්සුව දෙනවද” කියලා අහපු එක තමා කැතම සීන් එක..! :P

    ReplyDelete
  7. පැංචිට අපිත් සුබ පැතුවා කියන්න.. බියුටි කචල් ඇන්ටිගේ හොටු වෙන්න ඇති අර කියන සුවඳට එන්න ඇත්තේ.. හික් හික්.. සිරා සිරා..

    ReplyDelete
  8. නංගි උඹ කොහොමද දන්නේ කුප්පමේනියා වල රහ??? පාන්දරම හිනාවුනා මැරෙන්න. හැමදාමත් කියනවා වගේ උඹ මරු බන්!!!

    ReplyDelete
  9. සිරාවට අහන්නේ ෆා අක්කා දන්නේ කොහොමද? කුප්පමේනියා වල රහ? :D :D

    ReplyDelete
  10. හප්පා අක්කා , නිදි කුම්භියක් වගේ .... :P

    ReplyDelete
  11. හත්වලාමයි! කියවලා ඉව‍ර උනාම නෙව මතක් උනේ අනුන්ගේ ඩයිරි කියවන එක න‍රක වැඩක් කියලා..... ඒක්කො කමක් නෑ... අද විත‍රක් ක‍රපු න‍රක වැඩක්යැ.

    ReplyDelete
  12. එහෙනම් කුප්පමේනියත් බදුල්ලේ හොඳ කෑමක් වගේනේ. මේච්චරකල් ඉඳල ඒක දැනං උන්නේ නෑනෙ...

    ReplyDelete
  13. "මහ අජූත සුවඳක් එක්ක ලුණු මිශ්‍ර කුප්පමේනියා රසක් ඒ ටිෂු කෑල්ලෙන් බ්ලොගීට දැනුනා. හර්බල් ටිෂු එකක් වෙන්ට ඇති."


    ඊයා....... ඈක්කා......

    ReplyDelete
  14. හියදං ඇතුළු අනිත් කෑලි කපල දාන ප්ලෑන් එකනං මරේ මරු. මමත් අපේ උන්දැයි මමයි දෙන්නම දන්න කියන එකෙක්ගෙ වෙඩිමක් සෙට් වෙද්දි ඉන්නෙ හෙන බයෙන්. ඇයි අන්තිමේ ඔය වියහියදංවලින් කෑල්ලක් මටත් බැර වෙන හින්දා... දැන් කෙලින්ම හියදං මගෙන් ලබාදෙනවා කියලා කලින් නිවේදනය කරලා පස්සෙ ඒව කපල දානවා. වියදං වලින් එයා වැඩේ කොරගනියිනේ... :D

    ReplyDelete
  15. හැබෑටම “ආනේ සුභ ආරංචියක් වත්ද?” :P :D

    පාලක පක්ශයෙන් තමා අහන්ට ඔනේ හරියටම දැනගන්න :P

    ReplyDelete
  16. ඇත්තටම “ආනේ සුභ ආරංචියක් වත්ද?”
    මොනවා උනත් "නින්ද තරම් මිනිසා සුවපත් කරන දෙයක් මෙලොවෙහි තවත් නෑ" කියලා තමයි කොඩීට නම් හිතෙන්නේ :)

    ReplyDelete
  17. මම මෙච්චරකල් හිතන් හිටියේ කුප්පමේණියා කන්නෙ පූසො විතරයි කියලා. බලාගෙන ගියහම බ්ලොගීත් කන කෑමක්නෙ කුප්පමේණියා කියන්නෙ.

    අනික අර කේක් බෙදන්න කියලා කිව්ව කියල විතරයි ලියල තියෙන්නෙ, කේක් වලට මොකද උනේ කියලා කියල නෑනේ ! එයින් කේක් කෑලි විසි පහක් තිහක් අර අළුතින් ගත්ත හෑන්ඩ් බෑග් එකට රිංගුව කියලා ආරංචියි.... පපඩම් ටික ඉතුරු වෙන්න ඇති මොකද ඉතින් ඒවා පෙඟෙනවනෙ....!

    නියම ඩයරිය නගෝ... තෑන්ක් යූ අපිට නරක පුරුදු පුරුදු කරනවට....

    ReplyDelete
  18. සුපිරි!
    කාලෙකට පස්සේ හොඳහැටි හිනා වුණා... :D

    සෙයාරි ඉස් කෙයාරිං කියල දන්න සීයකට දෙසීයකට යැව්ව ඕං....

    ReplyDelete
  19. පිස්සු නැතිනම් සෝක් කිව්වලු.....නියමයි පොඩි පොඩි කතාටික.හම්බවුනාම ලොකු ටොක්කක් දෙන්නම්කෝ....

    ReplyDelete
  20. කෝ දැන් අලුත් මූණ? පින්තූරයක් එහෙම බස්සන්නේ එපායැ...
    අපිව කොර වෙන්න

    ReplyDelete
  21. අනුරාධ කිව්වත් වගේ කියවල ඉවර වුණාමයි මටත් මතක් වුණේ අනුන්ගේ ඩයරි කියවන එක නරක වැඩක් කියල...

    සොරි හොඳේ....

    බයවෙන්න එපා මට හිතවත්ම දෙතුන් දෙනෙකුට ඇරෙන්න වෙන කාටවත්ම කියන්නෙ නැහැ ඔයා කුප්පමේනියා කාලා තියෙනවා කියල....

    පැංචිට අපිත් සුබ පැතූ බව කියන්න හොඳේ....

    ReplyDelete
  22. හපොයි ෆා ඔය ඇහි බැම හම ගහන් වැඩේ නම් මටත් පෙන්නන බෑ .සැලොන් එකට ගියහම අක්ක ඇන්ටිලගෙ වදේ ඕක උගුල්ලන්නම .

    අර හර්බල් කුප්පමේනිය ටිෂූ කතාව නම් මසුරං

    ReplyDelete

ඔහේ හිටු! කියෙවුවා නේද මගේ ඩයරිය..?

ඩයරියේ පරණ පිටු

Related Posts with Thumbnails